මහසෝනා...☠️
මයෙ හීන් ආතා වෙද සීයා ඒ ගුරුකං සාස්තරේ දෙන්න පටන් ගත්තු ඒ මුල්ම දවස මට තාම මතකයි. මං ඒ කාලේ වරුස 17ක කොලු ගැටයා. ගුරුකමක් වැරදුන හන්දා මයේ අම්මා අප්පොච්චගෙන් වරුස පහක හිච්චියා කාලෙ වෙන් වෙන්න උනාට මොකෝ, අම්මා අප්පොච්චා නැති අඩුව මට දුන්නේ මයේ හීන් ආතා වෙද සීයයි උන්දැගේ හාමිනේ කුමාරි මැණිකෙයි.
ඒ උත්තමයා ගැන විස්තර කරන්න මට වචන නැතුවා. උන්දැගේ සාස්තරේ, අපේ හීංපත්තුව පරම්පරාවේ සාස්තරේ දසමෙක අඩුවක් නොවන ගානට, උන්දැ මට කියලා දුන්නා. හීන් ආතා මයෙ වෙද සීයා ගුරුකම කියන දේ පාවිච්චි කොරේ යහපත් කරුණු කාරිනා වලට විතරයි. ඒ බොහෝ වෙලාවට අපේ ගම, එහා ගම මුළු ගම් තුලානෙම අසරණයා දුබලයා රකින්ට.
ඒත් උන්දැගේ කරුමෙකට වෙන්න ඇති. වෙද සීයා එහෙම එකෙක් බේරගන්ට ගිය ගමනක් උන්දැගිය අවසාන ගමන උනා. මට මතකයි මයේ කිරි ආච්චි කුමාරි මැණිකේ ඒ වංගියේ උන්දැගෙ ඇස් රතු වෙනකං දවස් ගානක් හැඩූ කදුලින් උන්නු හැටි. ඒත් මං දැං කියන්න යන්නේ යාන්තං මට වරුස 17 සම්පූර්ණ වුන කාලේ මයේ හීන් ආතා වෙද සීයා මට සාස්තරේ දෙන්න පටන්ගත්තු මුල්ම කාලේ සිදුවීමක් ගැන.
කොටින්ම කියනවනං මම නොපෙනන බලකාරයෙක් මුලින්ම දැකපු දවස තමයි ඒ. හැබැයි මේ මයෙ ජීවිතේ උන එකම එක සිද්දියක් විතරයි. වෙද සීයා උන්නු කාලේ මම එක එක යකා එක්ක ඔට්ටු වෙන්න පුරුදු පුහුණු උන හැටි, ඒ වරුසවල වෙච්චි ඇබැද්දි තොගයක් මට තියනවා කියන්න. ඒවත් මම එකක් නෑර කියන්නම්. හැබැයි ඔය කාගේත් දැනගැනීම පිනිස මං කියන්නෙ ඒ බලකාර, අඩ යක්ෂ, අඩ දේවතා මහසෝන් උන්නාන්සේව මම දැකපු මුල්ම දවසේ වෙච්ච ඒ බයංකර සිදුවීම ගැන. ඕං එහෙනං ඒකට අවසරයි.
කොහොමත් අපේ ගම ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං වලට ගොඩක් ප්‍රසිද්ද ගමක්. වෙද සීයව මුණගැහෙන්න කියලා පිට පළාත්වලින් පවා ඕනෑ තරං එකාලා ඇවිල්ලා ඇති. මට මතකයි එදා ඉරිදා දවසක් කියන්න. කුමාරි මැණිකේ මයෙ අත්තම්මයෙ කාරණාවකට මම එදා ගමේ කඩමන්ඩියට යන ගමන්. දොළපාරෙන් එගොඩ වෙච්ච මම ගමේ කඩමන්ඩියට යන පාරට ගොඩවුණා විතරයි. ඕං ඒ වෙලාවෙම මයෙ ඉස්සරහෙන් රූං ගාලා ගියෙ නැතෑ කළුවට කළුවේ දිලිහෙන ඉබ්බා ජාතියේ වාහනයක්.
ඒක ආවය කියන්න මට එච්චර නිච්චියක් නැතුවා. ඒක මාව පහු කරං යාර හත අටක් ඉස්සරහට ගොහින් එකපාරටම නැවැත්තුවා. දැං ඒක ඇතුළෙ හිට බැහැපු මහ වංශක්කාර පෙනුම ඇති මිනිහෙක් මං දිහාට එන්න ගත්තා.
“මේ හීන් ආතගේ මුණුපුරා වෙන්ට! උඹ උඹේ අප්පොච්චා වාගෙමයි බං. කාරි නෑ! කාරි නෑ! නැගපං කොලුවෝ වාහනේට…”
ඒ මනුස්සයා එහෙම කියපුවාම මම සද්ද නොකර වාහනේට ගොඩ උනා. දැං එකෙක් වාහනේ එලවන ගමන් මම අර වංශක්කාර මිනිහත් එක්ක පිටුපස ආසනේ.
“කුඩාපාලයෝ! ඕං බලාගනින් මේ ඉන්නේ අපේ හීන් ආතා ගුරුන්නාන්සේගේ මුණුපුරා වෙච්චි. උන්දැගෙන් පස්සේ හීන්පත්තුව පරම්පරාවට ඉන්න අවසාන පුරුක. ඒ ගුරුකං සෑස්තරේ ඊළග පුරුක…”
එහෙම කියලා එදා ඒ යන්න ගත්තු ගමන නැවතුනේ අපේ වෙද සීයගේ මහ ගෙදර ඉස්සරහා.
“ගුරුන්නාන්සේ… ගුරුන්නාන්සේ…. මෙහාට ආවනං! ඕං උබලගේ කොලුවත් මම එක්කානම ආවා…”
එහෙමයි කියලා ඒ මනුස්සයා මයෙ වෙද සීයට කතා කරාම උන්දෑ අඩියට දෙකට මිදුලට ආවා.
“ආ… කොහොමැයි ගුරුන්නාන්සේ? එහෙනං ඔහෙලා අපි ආයෙත් මුණගැහුනා. උඹේ පුතාගෙ මළගමටවත් මට එන්න බැරි උනානේ…” එහෙම කියලා මයේ වෙද සීයා දිහාට ඌ ලා සිරික්කියක් දැම්මා.
“මුහන්දිරම්ලා මොකෝ මෙහෙ? උඹලා මොන කාරණාවකට මෙහෙ ආවත්, ඒවා නොවෙන බව මතක තියාගත්තොත් හොදා. මයේ පුතාගෙ මරණෙට වගකියන්ට ඕනේ තොපිලා. රණසිංහ… උඹ පලයං ගෙට!” මයෙ වෙද සීයා මට එහෙම කියපුගමන් මං දිව්වේ කුමාරි මැනිකේ ඉන්න දිහාවට.
“ඕව්වා පරණ කතානේ හීංපත්තුවේ! මං ආවේ උඹට බොහොම වටිනා යෝජනාවක් කොරන්න. ඒකෙන් උඹට පංගුවයි මට පංගුවයි. පන්සලේ ලොකු හාන්දුරුවොත් අපවත්වෙලා ඉන්න මොහොතේ… වැඩේ කොරනවනං මේ කාලේ තමා හොදම!” කියලා ඒ මනුස්සයා කිව්වා.
“මං සැරයක් කිව්වනේ මුහන්දිරම්. නිදන් ගන්න බිලි දෙන්ට පවුකාර වැඩ මං කොරන්නේ නැති බව. උඹලගේ පවුකාර වැඩ වලට හරස් වෙන්න ගොහින් මයෙ එකා මට නැති උනා. තව කතාකොරන්න කිසි කාරණයක් නැතුවා. උඹලා හිතන පතන දේවල් මේ සම්මජ්ජාතියේ නොවන බව සිහි තියාගනිල්ලා. පිං සිද්දවෙයි. සීවරං දෙයියන්ට ඔප්පුවෙන්න කඩුල්ල පැනලා ඉක්මනට යා ගත්තොත් තමා හොද! නැත්තං මං නරක එකා කියන්ට එපා…”
එහෙම කියාපු මයේ වෙද සීයා කාරලා කෙලපාරක් ගැහුවේ මුහන්දිරම්ගේ පය පා මුලට.
“හරි… එහෙමද උඹ හීන් ආතෝ! තෝ හිතාන ඉන්නවනං මං ඒක නොකර ඉදීවී කියලා, ඒක තෝ හිතාන ඉන්න විදිහක් වෙන්න ඇති. ඒත් මං තොටත් කොයිහරි වෙලාවක ගුලියක් අඹරන බව සිහිතියාගෙන හිටු…!”
“පාලයෝ! වාහනේ ස්ටාටු කොරලා ගං….”
ඒ මනුස්සයා මයේ වෙද සීයට එහෙම කියාපුහම ඌ දිහා රවා බලපු මයෙ වෙද සීයා,
“තොට පුළුවන් දෙයක් තෝ කරාපිය. හැබැයි! ඒක මයෙ ගමේ එකෙක්ගේ නියතුඩක හානියකට හේතුවෙන්ට බැරුවා. එහෙම උනොත් මේ හින් පත්තුවේ කාරණා ගැන තොට බලාගන්ට පුලුවන්! එහෙනං ඉතිං දැං තොලොංචි වෙලා පල!”
වෙද සීයා එහෙම කියනකොටම, ඒ ආපු මනුස්සයා වාහනේට නැගලා මහ ගෙදර දිහාවෙන් ඈතට යන්ට ගියා.
“හීං පත්තුවේ! මුහන්දිරම්ලා කියන්නේ නයා වායේ එකාලා. මට බය මයේ කොලුවා ගැන…” එහෙම කියලා කුමාරි මැණිකේ මයෙ අත්තම්මා කෙදිරිගාන්න ගත්තා.
“උඹ බය නොවී ඉදින් මැනිකේ. මං මළත්, උං හිතන කාරනා ඉෂ්ට සිද්ද වෙන්න දෙන්නේ නැතුවා. එකම වරද දෙපාරක් කොරන්න මං අනුවණයෙක් මෝඩයෙක් නෙමෙයි මැණිකේ. සෑස්තරේ පවරන්ට කාලේ හරි…”
“රණසිංහ මයේ පුතේ… හෙට හැන්දෑකොරේ ලැහැත්ති වෙයං මූකලානේ සොහොන දිහාට යන්න…” එහෙම කියලා වෙද සීයා උන්දැගේ කාමරේට ගියා.
මොනා කරන්නද? මොනවගේ දෙයක් වෙන්න යනවද කියලා මට කිසිම තේරුමක් නැතුවා. මං දන්න විදිහට මයෙ අප්පොච්චා මළේ නිදානයක් හාරන්ට ගිහින් ඒ ගුරුකම වැරදිලා. ඒ වැරදුනු ගුරුකමම තමයි මයෙ අම්මයේ මරණෙටත් හේතු කාරනා වෙලා තියෙන්නේ. මහ ගෙදර ඉස්සරහා පුටුවකට බර දීලා අතීත මතකයන් මතක් කරනා මොහොතක තමයි කුමාරි මැනිකේ මයෙ අත්තම්මා මං දිහාට ආවේ.
“කොලුවෝ! උඹ බය වෙන්ට කාරණා නෑ පුතේ… සීයා හදන්නේ උඹට සෑස්තරේ උරුම කොරන්ට. ඒක උඹට උරුම දේ….” අත්තම්මා එහෙම කියපුවාම මං පුදුම උනා.
ඉතිං මේ වගේ දේවල් ගොන්නක් එදා සිද්ද වෙලා එදා හවස් ජාමේ වෙනකොට ඉස්සරහ පහන් පැල දිහාවේ හිට මිදුලේ කෙලවර වෙනකං මයේ වෙද සීයා අතුගාන ගමන්. උන්දැගේ මූණ වගේම, ඒ මොහොතේ කරන කාරිණාවෙත් තියෙන්නේ බොහෝම සැහැල්ලුවක් වගේම පුදුමාකාර නිවිච්ච ගතියක්. ඔහොම තව ටික වෙලාවක් යනකොට වෙද සීයා මට උන්දෑ ඉන්න දිහාවට හිමීට කතා කොරා.
“කොලුවෝ. උඹ තමයි මගෙන් පහු මේ සෑස්තරේ උරුම අනෙක් පුරුක. උඹේ අපුච්චා මළේ මහ උන්නාන්සේට බල කැපකොරොලා තිබ්බ නිදානෙක කාරිනා වෙච්චි, ඒ නිදන් ගන්න ගිය නිදන් හොරුන්ව ඒකගේ ගුරකං බලෙන් ආරක්සා කොරන්න ගිහිං. අපේ වරිගේ ගුරුකං වලට මහසෝන් උන්නාන්සෙගේ බල බිදින ඒවා කොරන්ට අකපැයි බං. මොකද උන්නාන්සේ තමයි අපේ ගුරුකං සෑස්තරේට පණදෙන එකා….”
එහෙම කියැව්ව මයේ වෙද සීයා දීර්ඝ සුසුමක් හෙලුව හැටි මට අද වගේ මතකයි.
“හ්ම්… මං බොගෙ අපුච්චට කිව්වා මුහන්දිරම්ලට උපකාර නොකර ඉදින් කියලා. ඒත් ඒ කාරනා ඌ ගානකට ගත්තේ නැතුවා. එකා තුන්කුළුදුල්. මං පරම්පරාවෙන්ම බල වැඩිපුරම පිහිටුවේ ඌට. අන්න ඒ කාරනේම තමයි උඹේ අම්මගෙ මළගෙටත් හේතු කාරනා උනේ! උඹේ අපුච්චගේ බලපුළුවන්කාරකම උඹටත් එහෙම්මම පිහිටලා තියනවා. උඹත් තුන්කුළුදුල්. අපුච්චගේ ගුණ උඹටත් එහෙම්ම පිහිටාවි. හැබැයි මහ උන්නාන්සේට පිටින් නොයන කාරිනා කරන බවට උඹ වග බලාගන්ට ඕනේ! උබේ අපුච්චට වගේම උන්දෑ උබටත් ආශිර්වාද කොරාවි. හෙට හැන්දෑවට ලැහැත්ති වෙයන්…”
එදා ඒ රාත්‍රිය ගෙවිලා ගිහින් පහුවදා උදැහැන දවාල ගෙවුනට පස්සේ මං දැන් ලෑස්ති වෙලා ඉන්නේ “මූකලානේ සොහොන” දිහාට යන්න. උන්දෑ කියාපු අඩුම කුඩුම සේරොම ලැහැත්ති කරගෙන මම දැන් ගමනට සූජානං. සුදු සරොමකට සහ බැනියමකට මාරුවෙලා හිටිය මාත්, මයේ හීන් ආතා වෙද සීයත් එදා එකම විදිහක්.
වෙලාව ගොම්මන් හය පහුකරා විතරයි. මහ ගෙදර ඉස්සරහා තිබ්බ පහන් පැල දිහාවට ගිහින් අවසර ගත්ත මයෙ වෙද සීයා, “යමං කොලුවෝ. වැඩේට හෝරාව එන ගමන්!” එහෙම කියලා යන්න පිටත් උනා.
ගම් තුළානේ ඉන්න ගම්මු එකා දෙන්නා තමංගේ වැඩ රාජකාරි අහවර කරලා ගෙවල් වලට යන හැටි මට පේනවා. වැව දිහාවේ ඉදලා ගුරුපාර දිහාවට ගහගෙන එන හුළං පාර හිතට ගේන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. ඔහොම තව ටිකදුරක් යනකොට හම්බෙනවා ගම්මානේ මූකලාන. කිසිම පැකිලීමක් නැතුව මූකලානට හැරුණු මයෙ සීයා ඒ දිහාට වේගෙන් අඩිය තියන්න ගත්තා. හීනියට මොරගාන බකුසු හාදයන්ගේ සද්ද කීපයක් දැං මට ඇහෙනවා.
කැලේ මැද්දෑවට යන්න යන්න අන්දකාරේ වැඩි වෙනවා. ඒත් බොහෝම පළපුරුදු ගානට උන්දැගේ ගමන් ඉක්මන්. ඔහොම තව හෝරාවක විතර කාලයක් යනකොට අපි ආවා මහා මූකලානෙන් වටවෙලා තියන හිස් භූමියකට. ඔව්! ඒ මයේ වෙද සීයා කියාපු විදිහට ඒ මූකලානේ සොහොන.
ආකාසෙ ලාවට හද පායලා තිබ්බත් වැඩිමනක් තියෙන්නේ අන්දකාරේ විතරයි. ඒ මුලු පරිසරයම මහ මුස්පේන්තු පාළු ගතියකින් පිරිලා. ඉතින් එතනට ආපු මොහොතේ ඉදන් මයෙ වෙද සීයා මට කිව්වේ එකම එක දෙයක් විතරයි.
“මොන දෙයක් උනත් බය වෙන්ට කාරි නැතුවා. අපි ආවේ උන්නාන්සේගෙන් ආශිරුවාද ගන්ට මිසක උන්දැට සමච්චලේට දුවන්න එහෙම නෙමෙයි. ඒ වැරැද්දනං කොරන්ඩ එපා!”
එහෙම කියාපු මයෙ වෙද සීයා ඈත ආකාසේ දිහාව බලාගෙන, “තව හරියටම හෝරා දෙකයි. අඩුම කුඩුම සූජානං කොරන්න ලැහැත්ති වෙයං මයෙ පුතේ!”
ඉතිං අපි ඊටපස්සේ අඩුම කුඩුම ලැහැස්ති කරන්න පටන්ගත්තා. මයෙ සීයා මට කියාපු විදිහට අඩ දේව අඩ යක්ෂ බල ඇති මහසෝන් අවතාරේ කිසි කෙනෙක්ට බැදගෙන වැඩ ගන්න බැරි තරම් බලසම්පන්න අවතාරයක්! අපේ පරම්පරාවේ ගුරුකං සේරම මහසෝන් උන්නාන්සේ මත බලපිහිටුවං කරන ගුරුකං සාස්තරයක්.
කොහොමෙන් කොහොමහරි ටික ටික කළුවර වැඩිවෙන්න ගත්තම, අපි විලක්කු තුනක් පත්තු කරගත්තා. දැං වැටමාර ඉනි තුනක් හිටවලා ගොක්කොල තටුව තියලා පහන් තටුව හදල අහවරයි. පහන් තටුව දිහාට වැදන් උන්නු මයේ වෙද සීයා, මොන මොනාදෝ ඒ වෙලාවේ මැතුරුවයින් පහු අපි ලෑස්ති කරන් ආපු මල් ජාති, දිය මස් ගොඩ මස් ආදී දේවල් තියලා පහන් තටුව ලස්සනට පිළියෙළ කරා.
“මං මතුරලා අහවර උනයින් පහු උඹ මං ළග ඉදන් පහන් තටුවට වැදගන්න ඕනා….!”
පහන් තටුව ළගට විලක්කුවත් අරන් ගිය මයෙ වෙද සීයා, ඒ වෙලාවේ ටිකක් සද්දෙට මතුරන්න ගත්තා. මට වෙලාව නිච්චියක් නැ. නමුත් වෙලාව රෑ 10ට කිට්ටු කරලා. ඈතින් ඇහෙන කැලෑ හිවලගේ මූසල සද්දෙට මගෙ ශරීරේ හීතල වෙලා යන්න ගත්තා.
ඔන්න ඒ වෙලාව වෙනකොට තමයි. මයෙ පිටුපහ තිබිච්ච විලක්කු දෙකම හෝස් ගාලා නිවිලා ගියේ. මට දැං තේරෙනවා එකපාරටම ආපු හුළං පාර මයෙ වටේම කැරකෙන විදිහ. පහන් තටුවේ තියා ඇති පහනත්, වෙද සීයා අතේ තියාන උන්නු විලක්කුවේ ආලෝකයත් එහාට මෙහාට පැද්දෙන හැටි මට පේනවා.
ලාවට වැටුනු හදේ ආලෝකය, වට පිටාවේ තියන මූසලකම එන්න එන්න වැඩිකරනකොට පපුවට හිරකරගත්ත මයෙ දෑත, දැං වෙවුලන්නෙ සට සට ගාලා. ඉන්පහු තටුවේ තියලා තිබ්බ රතු රෙදිකඩක් අරං ඒකත් අතමිට ගුලි කරාන දැං වෙද සීයා මායම් වෙවී මන්ත්‍ර ජප කරනවා.
කොහොමහරි අඩ හෝරාවක් ජපකරපු මයෙ වෙදසීයා, “ඔන්න උන්නාන්සේ එනවා. උන්දෑ ඇවිල්ලා උඹට ආශිර්වාද කරාවේ. පහන් තටුවටම වැදගෙන හිටු. අනිත් විලක්කුව තව හෝරා කාලෙන් නිවිලා යාවී…”
හිතට ආපු මොකක්දෝ හැගීමක් එක්ක, මම දැන් පහන් තටුව දිහාට වැදගෙන. මයේ සීයා මට එහා පැත්තේ. ඇගේ හිරිකඩු පිපිලා. වෙව්ලනා තරමට බය බිරාන්ත වෙලා හිටියත් වෙද සීයා මම ළග උන්නු හන්දා මගේ බය තරමක් තුනී වෙන්ට ගත්තා.
ඔන්න එතකොටම තමයි අවසාන විලක්කුව හෝස් ගාලා නිවිලා ගියේ. දැං ඇහෙන්නේ මූකලාන පාගගෙන එන ගෙජ්ජි සද්දයක් විතරයි. ඒ සද්දෙ දැං ටික ටික ලං වෙන්නේ අපේ ඉස්සරහ තියන පහන් පැල දිහාට. පහන් දැල්ල නිවෙනවා ආයිම පත්තු වෙනවා.
විශ්වාස කරන්න අමාරුයි. ඒ ගෙජ්ජි සද්දේ එහෙම්ම ඇවිත් නතර උනා අපේ පහන් පැල ඉස්සරහා. දැන් ඇහෙන්නේ ගොර ගොර ගාන හරිම බයංකර ගෙරවිලි සද්දයක් විතරයි. මම වෙදසීයා කියාපු විදිහටම පහන් තටුව දිහාටම වැදගෙන හිටියා. ඔව්. දැං ඒ කෙනා ඇවිත් මයෙ ඉස්සරහා.
පහන් තටුව යට හරියට වෙන්න මම හිමීට ඇස් ඇරලා බලනකොට මට පේන්නේ කකුල් දෙකක් එහාට මෙහාට හෙල්ලෙන විදිහ. ඒකත් බොදවෙවී තමයි මට පේන්නේ. ඔලුව ටිකක් මුදුනට කරලා බලනකොට මට පේනවා ඒ කලුපාටට දිලිසෙන දේහදාරී ශරීරය. තේරෙන්නේ නෑ කොහොම පහන් පැල ඉස්සරහ ඒ රූපේ ඉන්නවද කියන්න.
වෙලාව ටික ටික ගෙවිලා යන්න ඇති. මයෙ වෙද සීයා ආපහු වතාවක් වේගෙට මතුරන්න ගත්තම, ඒ ආපු කෙනාගේ ගෙජ්ජි සද්දේ අපේ දිහාවෙන් ඈතට යන හැටි මට තේරුනා. ඔහොම තව ටික වෙලාවක් ගියාම මට ඇහුනේ මං ජීවීතේට අහලා නොතිබුන අමනුස්ස හූ සද්දයක්. ඒකට මයෙ බඩපපුව හීතල වෙලා ගියා. ඒ සද්දේ ඉවරවෙලා ටික වෙලාවක් යනකොට වටපිටාවේ කලින් තිබ්බ මූසලකම ඒ විදිහටම සාමාන්‍ය වෙන්න ගත්තා...
“ඔන්න මයෙ පුතේ හෙට ඉදන් උඹට අවසරයි අපේ පරම්පරාවේ සෑස්තරේ හදාරන්ට!”
ඉතිං එදා තමයි මහසෝන් උන්නාන්සේව මම දෑහින් දැකපු මුල්ම දවස. ගොඩක් එකාලා කියනවා මහ උන්නාන්සේගෙන් වැඩ ගන්නවා අරකය මේකය කියලා. ඒත් උන්දැ කියන්නේ මහ තේජාන්විත වගේම මහා බලසම්පන්න අවතාරයක්. අපේ සාස්තරේ හැටියට මහසෝන් උන්නාන්සේ කියන්නේ දේව රූප බලදාරී මහා බලගත්තු අමනුස්සයෙක්.
“කොලුවෝ! අද හැන්දෑකොරේ ලැහැත්ති වෙයං පන්සලට යන්න. අලුත් ලොකු හාමුදුරුවො බොහොම ආසාවෙන් ඉන්නේ මයේ මුනුපුරා දැකගන්න…”
ඉතිං මං ගුරුකම සහ වෙදකම පරතෙරටම ඉගෙනගත්තා. ඔහොම හිමීට කාලේ ගතවීගෙන යනකොට වෙද සීයා අපි අතරින් යන්ට ගියා. ඒ කාලේ වෙච්ච සිද්දි අනවින, කොඩිවින, වින බන්දන කපන්ට ගිය ඒවා, ගුරුකං කරපු එව්වා ගොඩාක් තියනවා මට කියන්න. ඉතින් ඒ හැම දෙයක්ම මං කියන්නම්. එතකං මට අවරසරයි…