ගුරුන්වහන්සේට වැරදුණු ගුරුකම

By Hashan World on 2025-12-22 in Holman Katha
5

යකැදුරා එසේත් නැත්නම් ගුරුන්වහන්සේ යනු තමාගේ සියලුම බලපරාක්‍රමය සහ ශක්තිය තමුන් දන්නා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මත පවත්වාගෙන ජීවත්වන පිරිසකි. ඔවුන්ගේ සියලු හැකියාවන් රඳා පවතින්නේ තමන් ආරක්ෂා කරගෙන පවතින ගුප්ත බලවේග මතය. සාස්තරේ හරියෑමෙන් තමාගේ සියලු දේ ආරක්ෂා වන්නා සේම, ඒ සාස්තරේ වැරදෙන වෙලාවල් ද නැතුවාම නොවේ. නමුත් එවැන්නක් සිදු වුවහොත් බොහෝ විට එයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ද ගුරුන්වහන්සේටමය.

මෙය සත්‍ය කතාවක් ඇසුරිනි...

"ගුරුන්නාන්සේ.... කරෝලිස් උන්නැහේ... ඉන්නවදෝ....?"

පිලේ තිබුණු ඇඳේ දිගාවී නින්ද නොනින්ද අතර සිටි කරෝලිස් උඩ ගොස් ඇහැරුණේ මේ හඬිනි. "කවුද බන් පොඩ්ඩක් ඇහැක් පියාගන්න දෙන්නෙ නැතුව මරහඬ ගහන්නේ?" කියමින් කරෝලිස් කෝපයෙන් මිදුලට බැස්සේය.

කඩුල්ල අසල සිටගෙන උන්නේ නොදන්නා පුද්ගලයෙකි. "මොකෝ... මාව හොයන්නේ?" කරෝලිස් ඇසීය.

"අනේ ගුරුන්නාන්සේ.. අපේ ගෙදර පොඩි ඇබැද්දියක් වෙලා. පොඩි එකීට.. ඒකිට මලපෙරේත බැල්මක් වැටිලද කොහෙද. උදේ ඉඳන් යටිගිරියෙන් කෑගහනවා.. නවත්තගන්න බැරිම තැන තමයි මේ ගුරුන්නාන්සේව හොයාගෙන ආවෙ.." හෙතෙම එක හුස්මට කියාගෙන ගියේය.

"හා හා නවත්තගනින් ඕක. අපි ගොහින්ම බලමු මොකක්ද මේ පෙරේත දිෂ්ටිය කියලා බොලව්.. හිටහන්කො ඩිංගිත්තක් මම කමිසයක් කාරිය දාගෙන එනකන්.." එසේ පවසා කරෝලිස් නිවස තුළට වැදුනේය.

කරෝලිස් වූ කලී කැලෑගෙදර ග්‍රාමයේ ජීවත් වූ එකම ප්‍රබල යකැදුරාය. ගමේ සියලු වෙද හෙදකම් මෙන්ම ගුරුකම් වලදී ද කැපී පෙනෙන තැනක් ඔහුට හිමි විය. වෙල අද්දරට වන්නට අටවාගත් පොඩි පැලක බිරිඳ සහ දරු දෙදෙනා සමගින් විසූ ඔහු, වැඩක් පලක් නැති බොහෝ විට පිලේ තිබූ ගෝනි ඇඳට වී කල් මැරීමට පුරුදුව සිටියේය.

යටකී නිවසට ළඟා වෙත්ම ගොම්මන් අඳුරින් පරිසරය වසාගෙන තිබිණි. කඩුල්ලකින් වටවූ කුඩා නිවසක් වූ එහි ඉදිරිපස දල්වා තිබූ ලාම්පුවෙන් නික්මූයේ මලානික එළියකි. ගුරුන්නාන්සේ ගෙට ගොඩවෙත්ම ඇතුළතින් ඇසුනේ දැරිවියක් යටිගිරියෙන් මරහඬ නගන බියකරු ශබ්දයකි.

නිවසේ මැද සාලයේ කොණකට වෙන්නට බිම වාඩිවී ගුලිවී සිටින දැරියකි. එක් පසකින් ඇයගේ මව යැයි සිතිය හැකි කාන්තාවක වාඩිවී සිටි අතර අනෙක් පසින් ඇයගේ මිත්තනිය සිටී. දැරිවිය විටින් විට කෑගැසුවද, එතනින් ඉවතට යාමට බැරිවන ලෙස ඇයගේ අත අසල වූ පුටුවකට තදින් බැඳ තිබිණි. කරෝලිස් ළඟට එත්ම එතෙක් වේලා දැරිය අසල සිටි පිරිස බියෙන් පසෙකට විය.

"කෝ බලමු මේ කෙරුම කවුද කියලා" කියාගනිමින් කරෝලිස් දැරිවිය අසලට පැමිණ ඇයගේ කෙස් වැටියෙන් තදින් අල්ලා ගත්තේය. "කියපන් තෝ කවුද? මොන මගුලකටද මේ ඇත්තිගේ පරාණෙට රින්ගුවේ? කියාපිය මට...!"

කෙල්ලගෙන් කිසිදු ශබ්දයක් නැත. මෙවර කරෝලිස් තවත් තදින් ඇයගේ හිස ඔසවා, අනෙක් අතින් යමක් මතුරා ඇගේ කම්මුලට වැරෙන් පහරක් ගැසීය. දැරිය එකවරම කරෝලිස්ගේ මුහුණ දෙස බලා අමුතුම බිහිසුණු සිනහවක් පෑවාය. ඉන්පසු සෙමින් ඔහුගේ කන අසලට ඇගේ මුව ගෙන ගියාය.

"... මම තොගෙ ගෙදර පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්න ගියා බොලව්... මම දැක්කා හොඳ රන් තැඹිලි ගෙඩි තුනක් තියෙනවා.. බොන්නත් හිතලා ඉතින් ආයෙත් ආවා තෝ බලන්න...!"

දැරියගේ වදන්වලට කරෝලිස්ට හීන් දාඩිය දැම්මේය. ගමන ඒමට තිබුණු හදිසිය නිසා, හැමදාම මෙන් ගෙදරින් එළියට එද්දී ගෙදර ආරක්ෂා කර ඒමට මෙවර ඔහුට අමතක වී තිබිණි. ඒ සුළු මොහොතට මේ අමනුෂ්‍ය ආත්මය ඔහුගේ නිවසට බැල්ම හෙළා ඇත. කරෝලිස් දැරිය අතහැර වහා මිදුලට බැස්සේය.

"පුතේ මේ වැඩේ නම් ටිකක් බරපතලයි. කෙල්ලට වැහිලා ඉන්නේ එසේ මෙසේ එකෙක් නම් නෙවෙයි ඕන්. බිල්ලක් දෙන්න වෙයි මූව එළවන්න නම්..." කරෝලිස්ගේ වදන් හමුවේ ගෙහිමියාගේ මුහුණ ඇකිලී ගියේය.

"එහෙනම් ගුරුන්නාන්සේ අපි අද හෙටම මේක ඉවරයක් කරමු. මට කියන්නකො ඕනිකරන අඩුම කුඩුම ටික.." අවශ්‍ය දේ පවසා කරෝලිස් හනිකට තම නිවස දෙසට දිවගියේය.

නිවසට යන විට කිසිදු වෙනස්කමක් දක්නට නොලැබිණි. ඔහු කඩුල්ල පැන ඇතුළට ගිය ගමන් කළේ වැලි ටිකක් ගෙන මතුරා නිවසේ සීමාවට ඉසීමයි. දැන් බියවීමට කාරණයක් නැත. හෙතෙම සතුටින් නිවසට වැදුනේ දරු දෙදෙනාට අමතමිනි.

පසුදින පාන්දරම කුකුළා හඬලන විටම තමාගේ මල්ල සහ යක් බෙරය බැඳගෙන ඔහු නිවසින් එළියට බැස්සේ, දරුවන්ට සහ බිරිඳට නිවස තුළටම වී ප්‍රවේශමෙන් සිටින ලෙස පවසමිනි. කුමන හේතුවක් නිසා වත් කිසිම කෙනෙකුට කඩුල්ලෙන් ඇතුළට ඒමට ඉඩ නොදෙන ලෙසට ද ඔහු තරවටු කළේය.

දැරියගේ නිවසට ළඟා වන විට නිවැසියන් සියල්ල සූදානම් කර තිබුණි. කරෝලිස් තට්ටුව සූදානම් කර බෙර පදයක් අල්ලා වැඩේ පටන්ගත්තේය. හෝරාවක් දෙකක් ගතවිය. කරෝලිස් දුම්මල අල්ලමින් මන්තර ජප කළේය. එක්වරම ඔහු නැගිට තට්ටුව මත සිටි කුකුළා ගෙන දැරිය අසලට පැමිණියේය.

"තෝ... මේ කුකුල් බිල්ල අරන් මේ මනුස්ස පරාණෙන් අයින්වෙලා පලයන්.. කැමතිද ඒකට... කියපන්!" දැරියගෙන් කිසිදු හැලහොල්මනක් නැත. මෙවර තවත් ළංවී තදින් ඒ පැනයම ඇසීය.

එකවරම දැරිය තරහින් මුහුණ ඔසවා කරෝලිස් දෙස බලමින්, "යකෝ... මම යන්නේ මේකිවත් අරගෙන බොලව්. තොට ඕන හුලව්වක් කරපන්. මම ඕවට බය නෑ...!" යැයි කෑගැසුවාය.

කරෝලිස්ට ද යක්ෂවේශ විය. ඔහු බෝතලයක් රැගෙන මන්තර කියමින් දැරියගේ බෙල්ලේ එල්ලෙන්නට වූ ඒ බලවේගය හිර කිරීමට උත්සාහ කළේය. අවසානයේ ඔහු බෝතලයේ මූඩිය තදින් හිර කළේය. දැරිය එකවරම කපා හෙලූ ගසක් මෙන් බිම ඇද වැටිණි.

"ඔන්න මහත්තයෝ ඒ කාරණෙත් අහවරයි.." කරෝලිස් ලැබුණු ගතමනාව සහ ඒ වීදුරු බෝතලය තම මල්ලේ රුවාගෙන නිවසින් පිටත් විය. වටපිට මූසල ගතියක් තිබුණේ කඩුල්ල අසල තිබූ විශාල කොස් ගස නිසාවෙනි. කරෝලිස් කඩුල්ල ඉවත් කර පාරට පිවිසෙන්නට හදනවාත් සමගම, ඔහුගේ කන අසලින් මූසල හිනාවක් ඇසුණු අතර පිටුපසින් වැදුණු දරුණු පහරකින් ඔහු කඩුල්ල පෙරළාගෙනම බිම ඇද වැටිණි.

නිවැසියන් දුව එන විට කරෝලිස් මුනින්තලා වී ඇස් උඩ බලාගෙන සිටිනු දක්නට ලැබිණි. ඔවුන් ඔහුව වත්තම් කරගෙන යළිත් නිවසට ගෙන ගියහ. සාලයේ බිම තබනවාත් සමගම කරෝලිස් මහ හඬින් කෑගැසුවේය. "යකෝ... මාව ඉක්මනට ඉස්සරහ කාමරේට දාපියව්. මට තව කාරණා කීපයක් තියෙනවා මෙහෙන්ම කරලා යන්න. උදේ මම කියනකන් තොපිලා එකෙක් වත් ඇතුළට එනවා එහෙම නෙවෙයි...!"

ඔහුගේ අණින් නිවැසියන් ඔහුව කාමරයට දමා දොරවල් වසා දැමූහ. රාත්‍රිය පුරාම එම කාමරයෙන් නොයෙක් බියකරු ශබ්ද ඇසුණි. පසුදින උදෑසන ගුරුන්නාන්සේගෙන් කිසිදු හඬක් නැත. ගෙහිමියා බියෙන් දොරට තට්ටු කළේය. එවිට නිකම්ම අඩවල් කර තිබූ දොර විවෘත විය.

කාමරයේ ඇතුළත දුටු දසුනින් ගෙහිමියාට යටිගිරියෙන් කෑගැසුණි. කරෝලිස්ගේ යක් බෙරය කැබලි වලට කැඩී කාමරය පුරා විසිරී තිබිණි. පෙරදා අල්ලාගත් වීදුරු බෝතලය බිම වැටී කුඩු වී තිබූ අතර එහි මූඩිය ගැලවී තිබුණි. කාමරය මැද වැටී තිබුණේ කරෝලිස් ගුරුන්නාන්සේගේ හිස සුන් මළකඳයි. ඔහුගේ හිස කවුරුන් හෝ විසින් හපයක් වන ලෙසට කා දමා තිබිණි.

එම අමනුෂ්‍ය ආත්මය අවසානයේ තමාට අවශ්‍ය බිල්ල කරෝලිස්ගෙන් ලබාගෙන තිබිණි.