නිහඬ මෘත ශරීරාගාරයේ නොකියූ කතාව

By Hashan World on 2026-05-03 in Holman Katha
16

රාත්‍රී අටේ කණිසම වැදී මොහොතක් ගතවන්නට ඇත. කුසගින්න නිවාගන්නට සූදානම් කළ පාන් කෑල්ල කටට ගන්නටත් පෙර, දොරට එල්ල වූ මරු පහරක් වැනි ශබ්දයෙන් මුළු කාමරයම දෙදරා ගියේය. ඒ පැමිණ සිටින්නේ අපේ ජීවිත කාලකන්නි කරන්නට මාන බලන ‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්’ බව මටත් සජියාටත් අමුතුවෙන් තේරුම් කර දිය යුතු නොවීය. මරණ බියෙන් පිරුණු සජියාගේ දෑස දෙස බලා, මම වෙව්ලන දෑතින් දොර අගුල හැරියෙමි.

“මතකයිනේ කොල්ලෝ ගේම..! නමය වෙද්දි අතන හිටපන්. ආවේ නැත්නම් උඹලා පිරිමි ද කියලා අපිට සැක හිතෙයි. එතකොට ඉතින් අපිට සිද්ධ වෙනවා උඹලව පරීක්ෂා කරලා බලන්න.. හරී..!”

නායකයා මෙන් සිටි එකාගේ කටහඬේ තිබුණේ නරුම සිනහවකි.

“බඩු ටික ගත්තද? ඉටිපන්දම් හතරයි ගිනිකූරුයි..?” “මචං.. ලයිටරයක් තිබ්බොත්?” මම අමාරුවෙන් ඇසුවෙමි. “ඕන එකක්.. පත්තු වෙනවා නම් එච්චරයි!”

උන් යන්නට හැරුණේ අපායේ යම පල්ලන් පිරිසක් මෙනි. තවත් කරදරයක් නොවී ඔවුන් පිටව යාම ගැන සිතට යම් අස්වැසිල්ලක් දැනුණත්, ඉදිරියේ ඇති ‘බිහිසුණු ක්‍රීඩාව’ ගැන සිතද්දී මුළු සිරුරම හිරි වැටී ගියේය. එකෙක් නතර වී ආපසු හැරුණේය.

“අඩෝ.. සික්කා (මුරකරු) ගැන මොකද කරන්නේ?” “ඌව මම බලාගත්තා බං.. උඹලා නමයට එතන හිටපල්ලා.” උන් පිටව ගියේ මහා මූසල සිනහවක් ඉතිරි කරමිනි.

මේ සූදානම මංකොල්ලයකට නොවේ. නමුත් එය මරණයත් සමඟ කරන සෙල්ලමක් වැනිය. අපට එන්නට කීවේ වෛද්‍ය පීඨයේ මෘත ශරීරාගාරය (Mortuary) අසලටයි. දහවල් කාලයේ මිනී එහා මෙහා කරන අපට, රාත්‍රියේ ඒ දෙස බලන්නටවත් විශේෂ උවමනාවක් තිබුණේ නැත. නමුත් සජියාත් මාත් පීඨයට පය තැබුවේ දෛවයේ තීරණයකට අනුව විය යුතුය.

මම මගේ ගමේ වැඩිහිටියන් දුන් අවවාද සිහිපත් කරමින්, පාන් කෑල්ලේ තිබූ මස් හෝ මාළු කොටස් ඉවත් කර නිකම්ම පාන් කෑල්ලක් ගිල දැමුවෙමි. ‘පිළිනොකා යෑම’ මෙවැනි තැන්වලදී සුදුසු බව ගමේ මතයයි. දොස්තරල වෙන්න කොළඹ ආවත්, ගමේ මුල් බැසගත් ඒ විශ්වාසයන් අපේ ලේ වලම තිබුණි.

රාත්‍රී නවය වන විට අප එහි යන විටත් ජ්‍යෙෂ්ඨයන් පිරිස සූදානම් වී සිටියහ. නිරන්තරයෙන් එහි ගැවසෙන මුරකරු අද පෙනෙන්නට නැත.

“උඹේ ෆෝන් එකේ ටෝච් එක දාපන්!” මගෙන් දුරකථනය උදුරා ගත් එකෙක්, යතුරක් ගෙන මෘත ශරීරාගාරයේ බරැති දොර විවර කළේය. ඇතුළත වූයේ දැඩි කළු අඳුරකි.

“දැන් පලයන් ඇතුළට.. අර කෙළවරේ ඉටිපන්දමක් පත්තු කරපන්!” කියද්දීම මා ඇතුළට තල්ලු කෙරුණි. මම උළුවස්සේ එල්ලී බේරෙන්නට තැත් කළෙමි.

“ම... මම විතරක්ද?” මම සජියාව සෙව්වෙමි. නමුත් උන් මා දෙස බැලුවේ කෝපයෙනි. “ගුටි නොකා පලයන්!”

මම කළුවරේම අතපත ගා ගිනිකූරක් දල්වා ගත්තෙමි. මා ඇතුළු වූ සැණින් ඇසුණේ මහා ශබ්දයකි. මෘත ශරීරාගාරයේ යෝධ දොර පිටතින් අගුළු වැටුණි. ඒ දෝංකාරය මුළු ශාලාව පුරාම විසිරී ගියේ මගේ හද ගැස්ම වේගවත් කරමිනි. මම උමතුවෙන් මෙන් දොරට තලන්නට වූයෙමි. නමුත් ප්‍රතිඵලයක් නැත. මම දැන් ඒ සීතල මෘත ශරීරාගාරය තුළ තනි වී සිටිමි. මට ඉතිරිව ඇත්තේ ඉටිපන්දම් හතරක් සහ ගිනිකූරු කිහිපයක් පමණි. මගේ දුරකථනය පවා උන් සතුය.

පළමු ඉටිපන්දම දැල්වූ මම, කාමරයේ විදුලි ස්විචය සෙව්වෙමි. නමුත් එය ක්‍රියා විරහිත කර ඇති බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. මම හෙමින් සීරුවේ ඇවිද ගියේ මළ සිරුරු තැන්පත් කර ඇති ලාච්චු පෙළ අසලටයි. එකවරම හැමූ සීතල සුළඟකින් මගේ ඉටිපන්දම නිවී ගියේය. වසා ඇති කාමරයක සුළඟක් ආවේ කොහෙන්ද? මම වෙව්ලන දෑතින් දෙවන ගිනිකූර දැල්වූයෙමි.

හැරෙන්නටත් පෙර මම යම් දෙයක පැටලී බිම ඇද වැටුණෙමි. මා සමඟ පෙරළුණු ට්‍රොලියේ සීතල යකඩ කැබැල්ලක අත තැබූ මට දැනුණේ ඊටත් වඩා සීතල යමක් එහි ඇති බවයි. දෙවියනේ.. ඒ මළ සිරුරකි! දහවල් කාලයේ මේවා අපට හුදු පර්යේෂණ භාණ්ඩ වුවත්, මේ මධ්‍යම රාත්‍රියේ ඒ ස්පර්ශය මගේ ආත්මයම වෙව්ලවා දැමීය.

මම නැවතත් ඉටිපන්දම දැල්වූයෙමි. එහි මලානික එළියෙන් පෙනුණේ ට්‍රොලිය මත වූ තරුණියකගේ මළ සිරුරයි. මගේ දෑස් ඇගේ දකුණු කකුලේ තිබූ ලේබලය වෙත ගියේය. ‘රසාංගි චන්දිමාලා’ - අංක: 23602.

ඇය සිය සිරුර වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පරිත්‍යාග කළ තැනැත්තියකි. එවැනි උතුම් මිනිසුන්ගේ සිරුරු ඉදිරියේ මෙවැනි අධම ක්‍රීඩාවන් කරන ජ්‍යෙෂ්ඨයන් ගැන මට ඇති වූයේ මහා පිළිකුලකි. බය ටිකෙන් ටික වෛරයකට පෙරළුණි. මම ටිකක් සන්සුන් වීමට උත්සාහ කළෙමි.

කාලය ගෙවී යද්දී, මම තනිවම ගීතයක් මුමුණන්නට වූයේ පාලුව මකා ගන්නටයි. නමුත් එකවරම මට ඇසුණේ මගේ හඬේම දෝංකාරයක් වැනි ගෑනු කටහඬකි! මම භීතියෙන් ගල් ගැසුණෙමි. මෙතැනින් කෙසේ හෝ පැන ගත යුතුය. මම අසල වූ මේසයක් මතට නැගී වාතාශ්‍රය ලැබෙන සිදුරෙන් පිටතට පනින්නට උත්සාහ කළෙමි. නමුත් මගේ පය ලිස්සා ගොස් මම නැවතත් බිම පතිත වූයේ මගේ අල්ල තදින් කැපී යද්දීය. අල්ලෙන් ගලා ගිය උණුසුම් ලේ බිංදු අර මළ සිරුර මත විසිරෙනු මම දුටුවෙමි.

දැන් මා සතු වන්නේ අවසන් ඉටිපන්දමයි. මුළු කාමරයම අසාමාන්‍ය ලෙස සීතල වන්නට විය. ට්‍රොලිය මත වූ සිරුරේ පපුව උස් පහත් වන බවක් මට පෙනුණි. මම දෑස් තදින් පියාගෙන නැවත බැලුවෙමි. එය මායාවක් නොවේ! මට මහා තැතිගැන්මක් දැනුණි. ජ්‍යෙෂ්ඨයන් කී ඒ බිහිසුණු ක්‍රීඩාවේ සියලු කොන්දේසි මගේ අතින් අත්වැරදීමකින් සම්පූර්ණ වී තිබුණි. ලේ පූජාව, ගීතය සහ මධ්‍යම රාත්‍රියේ අවදියෙන් සිටීම!

එකවරම ට්‍රොලියේ රෝද කැරකෙන ‘කිරි කිරි’ ශබ්දය ඇසෙන්නට විය. රසාංගිගේ සිරුර හෙමින් සීරුවේ නැගිටිනු මම දුටුවෙමි. මම මරහඬ දීගෙන දොර දෙසට දිව ගියෙමි. මම දොරට තලමින් කෑ ගැසුවෙමි. එම කලබලය අස්සේ මගේ අතින් බිම තිබූ ශල්‍ය ස්ප්‍රීතු බෝතලයක් පෙරළුණු අතර, දැල්වෙමින් තිබූ ඉටිපන්දම ඒ මතට වැටී මහා ගින්නක් හටගත්තේය.

දුමෙන් මුළු කාමරයම පිරී ගියේය. මට හුස්ම ගැනීම අපහසු විය. මගේ දෑස් බොඳ වී යද්දී, ඒ දුමාරය අතරින් මම රසාංගිගේ සෙවනැල්ල මා දෙසට එනු දුටුවෙමි. ඇගේ සීතල දෑත් මට දැනුණාක් මෙන් විය. ඉන්පසු සියල්ල අඳුරු විය.

පසුදින මා අවදි වන විට සිටියේ රෝහල් ඇඳක් මතය. මා වටා සිටි ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණුවල තිබුණේ මරණ බියයි.

“මචං.. සමාවෙයන්. අපි එද්දී දොර ඇරිලා තිබුණේ. ගින්න අස්සේ උඹව කවුරු හරි එළියට ඇදලා දාලා තිබුණා. දොර එළියෙන් ලොක් කරලා තිබුණේ.. ඒක කොහොම ඇරුණද කියලා හිතාගන්න බෑ.” එකෙක් වෙව්ලන හඬින් කීවේය.

මම කිසිවක් නොකීවෙමි. රසාංගි චන්දිමාලා.. ඇය මළ සිරුරක් වුවත්, ඇය තුළ තිබූ ඒ උතුම් මනුෂ්‍යත්වය මා බේරාගෙන තිබුණි. වෛද්‍ය විද්‍යාවට පැහැදිලි කළ නොහැකි තැන් පවතින බව මම එදා වටහා ගත්තෙමි.