රේණු 3: අවසන් දිග හැරුම

By Hashan World on 2025-12-22 in Holman Katha
4

රේණු 3: අවසන් දිග හැරුම

කවිඳුගේ කෑ ගැහිල්ල ඇසුණු සැණින් මම කාමරයට දිව ගියෙමි. එහිදී මා දුටුවේ ඔහු පටලැවුණු දෙපා ඇතිව, ලේ තැවරුණු සාය ගලවන්නට උත්සාහ කරන ආකාරයයි.

"කවුද යකෝ මට සායක් ඇන්දුවේ?" ඔහු මල පැන අසයි.

"උඹම තමයි සායක් ඇඳගෙන ගම දෙවනත් වෙන්න ඩෙඟා නැටුවේ! එළියට යන්න එපා කියද්දී ඇහුවේ නෑනේ. දැන් බලපන් වෙච්ච දේ," මම කෝපයෙන් කීවෙමි.

කතා කරමින් සිටියදීම කවිඳුට වමනය යන්නට ආවේය. ඔහු මිදුලට දිව ගොස් වමනය කරද්දී, මුළු මිදුලම කුකුළු පිහාටු සහ අමු මස් කැබලිවලින් පිරී ගියේය. එය දුටු මටද ඇති වූයේ දැඩි පිළිකුලකි. ඒ මොහොතේම මාමා සහ අයියා අප අසලට පැමිණියහ.

"ඒ අහිංසක දැරිය ඉන්නේ දොළ ළඟ ගෙදර. ඩෙංගු හැදිලා සෑහෙන අමාරුවෙන් හිටපු ළමයෙක්. ඒ ළමයාට තමයි ඔය ආවේශ වෙලා තියෙන්නේ," මාමා පැහැදිලි කළේය.

කවිඳු පිරිසිදු වී පැමිණි පසු, අපි සියල්ලෝම සාලයට වී සලනි හෙවත් රේණුගේ කතාව අසන්නට සූදානම් වුණෙමු.

"එයාගේ නම සලනි රේණුකා. ගමේ හිටපු ලස්සනම කෙල්ල. ඒ වගේම එයාට හරි ලස්සනට නටන්න පුළුවන්," අයියා කතාව ආරම්භ කළේය. "අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා. මම සින්දු කියද්දී එයා නටනවා. මම එයා වෙනුවෙන් කියන්න ආසම සින්දුව තමයි 'රේණු... රේණු... මල් මිටේ රේණු' කියන එක."

අයියාගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. "හැබැයි ගෙදරින් අපේ සම්බන්ධයට අකමැති වුණා. මට නේහාව යෝජනා කළා. අන්තිමට මට සලනිව දාලා රට යන්න වුණා. ඒත් මම දැනගෙන හිටියේ නෑ මම ගියාට පස්සේ එයාට මෙහෙම දෙයක් වෙයි කියලා."

මාමා ඉතිරි කොටස පවසන්නට විය. "සුරේන් ගියාට පස්සේ සලනිට ලොකු අසාධාරණයක් වුණා. ඇයගේ බාප්පා තවත් කෙනෙක් එක්ක එකතු වෙලා මේ අහිංසක කෙල්ලව විනාශ කළා. පස්සේ සලනිගේ සිහිය විකල් වුණා. දවසක් උදේ බලද්දී ඇය මුළු ඇඟම කපාගෙන, මුහුණ පුච්චාගෙන මැරිලා හිටියා. ඒක සියදිවි නසාගැනීමක්."

"හැබැයි සලනි කිව්වේ තුන්දෙනෙක් ගැනනේ මාමේ. එතකොට කවුද තුන්වැනියා?" මම ඇසුවෙමි.

"ඒක තමයි මටත් හිතාගන්න බැරි සජිත. ඒත් සලනි කිව්වා නම් අනිවාර්යයෙන්ම තුන්වැනි කෙනෙක් ඉන්නවා," මාමා සැකයෙන් කීවේය.

ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි, වරු තුනක් (දින එකහමාරක්) ගත වන්නට පෙර කවිඳුව ගම් සීමාවෙන් පිට කිරීමට අපට සිදු විය. එසේ නොවුණහොත් සලනි නැවතත් ඔහුගේ ඇඟට ඒමට ඉඩ තිබුණි. පසුදින පාන්දර පහමාරට පමණ අපි බයිසිකලයෙන් පිටත් වුණෙමු.

මීදුමෙන් වැසුණු කැලෑ පාරේ යද්දී, සලනිගේ පාලු නිවස පසු කරද්දීම බයිසිකලය පිටුපස බර වන බවක් මට දැනුණි. තැනින් තැන සලනිගේ අවතාරය අප දෙස බලන් ඉන්නා බව මට පෙනුනත්, මම කවිඳුට එය නොපවසා වේගයෙන් පදවාගෙන ගියෙමු.

එක්වරම සයිඩ් කන්නාඩියෙන් මා දුටු දසුනින් මගේ මුළු ඇඟම හිරි වැටී ගියේය. කවිඳුගේ කරට අත් දෙක දමාගෙන, ඔහුට මුවා වී යන සලනිගේ රුව එහි දිස් විය! ඇයගේ දිගු කෙස් කළඹ හුළඟේ පාවෙමින් තිබුණි.

මම බිය නොපෙන්වා කෙලින්ම බයිසිකලය පන්සලකට හරවා, එහි හාමුදුරුවන් ලවා අප දෙදෙනාටම පිරිත් නූල් බඳවා ගත්තෙමි. ඉන්පසු නැවත ගමන් කරද්දී බයිසිකලයේ බර අඩු වී ඇති බව මට දැනුණි. ගම් සීමාව පසු කරද්දී සලනිගේ අවතාරය දේශ සීමාව අසල සිට අප දෙස බලන් ඉන්නවා මම අවසන් වරට දුටුවෙමි. ඇයට එතැනින් එහාට ඒමට නොහැකිය.

ගම් සීමාවෙන් පිට වූ පසු මට සලනි ඊයේ රෑ කී දෙයක් මතක් විය. මම බයිසිකලය නතර කර කවිඳුට බැසීමට කීවෙමි.

"උබට ළමයෙක් හිටියද කවිඳු? උඹ දරුවෙක්ව නැති කළාද?" මම කෙලින්ම ඇසුවෙමි.

කවිඳු බිම බලා ගත්තේය. "ඒක අවුරුදු දෙකකට කලින් බං. අපි දෙන්නම පොඩියි. මට වගකීමක් ගන්න බැරි නිසා මම කිව්වා ළමයව නැති කරමු කියලා. ඊට පස්සේ මම ඒ කෙල්ලව අතෑරලා දැම්මා."

මම ඔහුට දරුණු කනේ පාරක් ගැසුවෙමි. "මොන තිරිසන් වැඩක්ද උඹ කරලා තියෙන්නේ? සලනි කිව්වා හරි, උඹ වගේ එකෙක්ට ඔහොම වෙලා මදි! අදින් පස්සේ උඹෙයි මගෙයි යාළුකම් ඉවරයි!"

මම ඔහුව එතැනම දමා නිවස බලා ආවෙමි. පව්කාරයෙකු සමඟ තවදුරටත් මිතුරු වීමට මට වුවමනා නොවීය.

මාස තුනකට පසු...

මට මාමාගෙන් ඇමතුමක් ලැබුණි. සලනිගේ මව සමඟ හේන් කළ පිරිමි පුද්ගලයා අලියෙකු ගසා මියගොස් ඇති බව මාමා පැවසීය. සලනි කී "තුන්වැන්නා" ඔහු බව දැන් අපට පැහැදිලිය.

කවිඳු සහ මම අතර සම්බන්ධයක් නොතිබුණත්, පසුගිය දිනෙක අපි ක්‍රිකට් පිටියේදී අහම්බෙන් මුණගැසුණෙමු. ඔහු දැන් ගොඩක් වෙනස් වී ඇත. ඔහු තමා කළ වරදට පසුතැවිලි වී එම තරුණියගෙන් සමාව ගෙන ඇති බව පැවසීය.

"උඹේ පිරිත් නූල කෝ?" මම ඔහුගේ අත දෙස බලා ඇසුවෙමි.

"ඒක පරණ නිසා මම අයින් කළා බං. දැන් අවුලක් නෑ," කවිඳු සන්සුන්ව කීවේය.

අපි කතා කරමින් සිටියදී කවිඳු ඈත තිබූ වෙරළු ගසක් දෙස බලා සිටියේය. "අර බලපන් සජ්ජා, අර පොඩි දරුවා අපි සෙල්ලම් කරන දිහා ආසාවෙන් බලන් ඉන්නවා. පව් නේද? ඉඳහන් මම මේ බයිට් පැකට් එක එයාට දීලා එන්නම්."

කවිඳු බයිට් පැකට් එකත් රැගෙන පාළු වෙරළු ගස දෙසට දිව ගියේය. මම තුෂ්ණිම්භූත වී බලා සිටියෙමි. මුළු පිට්ටනියේම පේන තෙක් මානයක කිසිදු කුඩා දරුවෙකු සිටියේ නැත!

කවිඳු තවමත් තනිවී නැත. සලනි ඔහුට දුන් දඬුවම තවමත් අවසන් වී නැති බව මට වැටහුණි.

- සමාප්තයි -