රේණු 2: පළිගැනීම
තාලයට අඩි තියන සළඹ සද්දය මගේ කනට දැන් දැන් හොඳටම ඇහෙනවා!
අනේ මගේ ඇඟට පණ නැති වීගෙන එනවා වගෙයි දැනෙන්නේ. අර වෙලාවේ කවිඳු කිව්වේ බොරුවක් නෙවෙයි එහෙනම්. ඔහුටත් සළඹ සද්දය ඇසුණා කිව්වා. දැන් මටත් ඒක හොඳටම ඇහෙනවා. පොඩ්ඩක් ඉන්න! ඒ සද්දය මට අහලා හොඳට පුරුදුයි. දෙවියනේ... ඒක වෙන්න බෑ!
මම වෙව්ල වෙව්ල අඩි තියමින් කුස්සියට ගියේ කවිඳුට මොකද වුණේ කියලා බලන්නයි.
"ක.... ක.... ක..... කවිඳු...... උ.... උ... උඹ ඉන්නවද....?"
මගේ කටහඬ අඳුරු නිවසේ දෝංකාර දෙද්දීම සළඹ සද්දය නතර වුණා. මගේ ඇඟේ මයිල් කෙළින් වුණේ බිය නිසාමයි. හිමින් හිමින් කුස්සියට යද්දී මම දැක්කේ මාමා උයලා තිබුණු මැටි මාළු හට්ටිය පොළොවේ ගසා, ඒ ඇතුළේ පිස්සෙක් වගේ මාළු කෑලි හොයන කවිඳුවයි!
"කයියා! මො.... මො.... මොකද බං මේ?"
මම කියද්දීම ඔහු ඔළුව උස්සා වියරුවෙන් මෙන් මදෙස බැලුවා. "මම කිව්වනේ උඹට මට බඩගිනියි කියලා! කෝ.... කෝ..... මස් නෑ..... මාළු නෑ..... මම කන්නේ මොනවාද? හැබැයි උඹලා එද්දී ගෙනල්ලා තිබ්බ මස් ටික නම් මාර රහයි!"
දෙවියනේ... ඒ කවිඳුගේ කටහඬ නෙවෙයි! ගැහැනු කටහඬකුයි කවිඳුගේ කටහඬයි එකතු වුණු දෙබිඩි හඬක් මට ඇහෙන්නේ.
"ක... කයියා! ඇයි බං මේ?"
"උඹේ යාළුවා මෙතන නෑ බං!" කියාගෙන හට්ටිය ළඟ ඇනකුට්ටියෙන් ඉඳගෙන හිටපු ඔහු නැගිටලා, ඉව කර කර මොනවාදෝ හොයන්න පටන් ගත්තා. මම බිත්තියට උපරිම හේත්තු වෙලා බලන් හිටියේ ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුවයි.
හෙමින් හෙමින් ඔහු ගිහින් නැවතුණේ ෆ්‍රිජ් එක උඩ තිබුණු බිත්තර වට්ටිය ළඟයි. මම බලන් ඉද්දීම කවිඳු බිත්තර එකින් එක කඩමින් අමු අමුවේ බොන්න ගත්තා. ඔහුගේ කට දෙපැත්තෙන් වැක්කෙරෙන බිත්තර සාරු දෙස මම බලන් හිටියේ බියෙනුත් අප්පිරියාවෙනුත්.
සැකයක් නෑ... මට විශ්වාසයි මේ ඉන්නේ කවිඳු නෙවෙයි, ඔහුගේ ඇඟට වැහිලා ඉන්න පෙරේතයෙක්!
"උ... උ.... උඹ කවුද?" මම ඇසුවෙමි.
බිත්තර බිබී හිටපු ඔහුගේ වියරු ඇස් මදෙසට හැරුණා. "ඇයි? තාම මාව අඳුරගන්න බැරි වුණාද?"
මෙච්චර වෙලා මගේ හිතට ආපු දේවල් එක්ක මට මතක් වුණු එකම නම මගේ කටින් ඉබේම පැන්නා. "ස... ස.... සලනි! ඔ.... ඔ... ඔයාද මේ?"
"අඳුරගත්තා! අඳුරගත්තා!" ඔහු වියරු විදිහට හිනා වෙන්න ගත්තා. "හහ් හහ් හා..... තමුසෙගේ යාළුවගේ ඇඟ නම් මට හොඳට ගැලපෙනවා! කාලෙකින් මේ වගේ ඇඟක් ලැබුණේ මට."
"ඔ... ඔ.... ඔයාට මොකද වුණේ සලනි? කො... කො... කොහොමද ඔයා මැ... මැ.... මැරුණේ?"
"සලනි කියන්න එපා! රේණු! රේණු කියන්න මට! රේණු.... රේණු.... මල් මිටේ රේණු....." යි කියමින් ඔහු මහා හයියෙන් කෑගහලා හිනා වුණා.
"එ.... එහෙනම් ඔයා හින්දා තමයි මට ඒ සින්දුව කියන්න කිව්වේ! මට කලින් පුරුද්දට ඉබේ කියවුණු සින්දුව ඇත්තටම එවෙලෙත් කියවෙන්න හේතුව ඔයා!"
සලනි වියරුවෙන් මෙන් කෑ මොර දෙන්නට පටන් ගත්තාය. "ඔයයි ඔයාගේ අයියයි මට ඔය සින්දුව කිය කිය පස්සෙන් ආවා නේද? ඉන්න.... ඉන්න..... මම ඒ සින්දුවට නටලා පෙන්නන්නද? ඔයා සින්දුව කියන්න මම නටලා පෙන්නන්නම්...."
"ම.... ම.... මට සින්දු කියන්න බෑ!"
"මොකක්ද තෝ කියන්නේ?" කියාගෙන ඔහු ඇවිත් මාව බිත්තියට තද කරලා බෙල්ලෙන් අල්ලා ගත්තා. "කියපන් සින්දුව! කියපන්! යාළුවාට වෙච්ච දේ උඹටත් වෙනවා බලන්න ඕනද?"
මම බයටම සින්දුව කියන්න පටන් ගත්තා. කවිඳුගේ ඇඟේ ඉන්න සලනි නටන්න පටන් ගත්තා. කවිඳු නටද්දී ඔහුගේ කකුල්වල සළඹ නැති වුණත්, සින්දුවේ තාලයට කකුල් තියද්දී ඉබේම සළඹ සද්දය අඳුරු නිවස පුරාම රැව් දුන්නා!
සලං...... සලං....... සලං......!!!!!
"ලස්සනද..... ලස්සනද නටනවා මම? බලන්න..... බලන්න..... ලස්සනද මෙහෙම? කියන්නකෝ.... ලස්සනද?"
මුලින් හිමින් නටන්න ගත්තත් එන්න එන්නම වේගය වැඩි කරමින් අවසානයේ මරු විකාරයෙන් වගේ හූ තබමින් නටන්න ගත්තා.
"මගේ යාළුවගේ ඇඟෙන් අයින් වෙයන්! අයින් වෙලා හිටපු තැනකට පලයන්!" මම කෑගැසුවෙමි.
"බෑ....... හ්හ්හ්හ්...... අයින් වෙන්නේ නෑ....... හ්හ්හ්හ්!"
"ඌව අතහරපන්... ඌ අහිංසකයෙක්!"
"අහිංසකයි මූ? හහ් හහ් හා....... මූ කොහෙද අහිංසක? මූ මිනීමරුවෙක්! මූ මූගේ ළමයව මැරුවා!"
මම තුෂ්ණිම්භූත වුණා. "මැරුවා? ළමයෙක්? මොකා?"
"උඹ දන්නේ නෑ..... මූ උඹට කිව්වේ නෑ..... මූ මුගෙන් ලැබෙන්න හිටපු දරුවා නැති කළා! ඒකයි මම මුගේම ඇඟට ආවේ.... පිරිමි ඔක්කොම එකයි.... සක්කිලි හැත්ත!"
මට තවදුරටත් මේවා දරාගන්න බැරි වුණා. මම මගේ මුළු ශක්තියම එකතු කරගෙන කවිඳුගේ කනට දෙකක් ගැසුවා. "වරෙන් සිහියට! ඇහෙනවද මාව?"
නමුත් මට වැඩි වෙලාවක් සටන් කරන්න ලැබුණේ නෑ. කවිඳුගේ හැඩිදැඩි අතින් වැදුණු පහරකින් මගේ කම්මුල රත් වුණා. ඔහු මාව මරන තරම් කේන්තියෙන් රතු වුණු ඇස්වලින් බලන් හිටියා. ඒ එක්කම කුස්සියේ පිඟන් රාක්කය පෙරළිලා වීදුරු බිඳෙන සද්දය, සාලයෙන් බඩු වැටෙන සද්දය සහ අකුණු හඬ පේළියට ඇහෙන්න ගත්තා.
තව හිතන්න දෙයක් නෑ... මම දොර ඇරගෙන මහා වැස්සේම මිදුලට පැන්නේ මාමාව හොයාගෙන එන අරමුණෙන්. "කොහෙද උඹ දුවන්නේ? උඹට බෑ මගෙන් බේරෙන්න!" කියාගෙන ඔහු මගේ පස්සෙන් පැන්නුවා. මම පස්ස නොබලා කැලෑව අස්සට දිව්වා. කට්ට කළුවරේ මට පාර වැරදුණා.
එක්වරම ආපු අමුතු ගෙරවිලි සද්දයක් නිසා මම නතර වුණා. මල හත්තිලව්වයි... අලියෙක්!
යකාට වඩා අලියාට බය වුණු මම ආපහු හැරිලා දිව්වා. "මාමේ... මාව බේරගන්න!" මම කෑගැසුවේ බයෙන් පදම් වෙලයි. ඈතින් මාමගේ පැල දැකපු මම, එතැනට යද්දීම සිහි නැතිව ඇද වැටුණා.
නැවත පියවි සිහිය ලබද්දී මාමා මගේ ළඟ හිටියා. "මාමේ... කවිඳුට යකෙක් වැහිලා!" මම සියල්ල පැවසුවා.
මාමා මට බලගතු සුරයක් දුන්නා. "මේක ළඟ තියාගනින්. උඹේ ඇඟට ඒ යක්ෂණියට රිංගන්න බෑ මේක නිසා." අපි ආයෙත් කවිඳුව හොයන්න ගියා. අලියා හිටපු තැන මාමා පරීක්ෂා කළා. "අලි පොරයක් ගිහින් නෑ. ඒ කියන්නේ ඔහු මෙතනින් ගිහින් තියෙනවා."
අන්තිමට අපි ගෙදරට එද්දී මුළු සාලෙම රේඩියෝ එක කුඩු පට්ටම් කරලා තිබුණා. අයියගේ ගිටාර් එකත් දෙකට පැළිලා. එක්වරම මගේ පිටුපසින් සීතල හුළඟක් ගියා. මම හැරිලා බලද්දී... ඒ සලනි! සුදු ඇඳුමක් ඇඳගෙන, ඇඟ පුරාම ලේ ගාගෙන ඇය ෆ්‍රිජ් එක ළඟ ඉඳන් මදෙස බලන් ඉන්නවා. ඒත් ඇය ක්ෂණිකව අතුරුදන් වුණා.
එළි වුණාට පස්සේ අපි දැක්කා සලනිගේ පරණ ගරා වැටිච්ච ගෙදර මිදුලේ කවිඳු ඉන්නවා. ඔහු අමු අමුවේ මරපු කුකුළෙක් කනවා! මාමා වහාම ගුරුන්නාන්සේව එක්කන් ආවා.
ගුරුන්නාන්සේ මතුරලා වැලි ගහද්දී කවිඳු මකුළුවෙක් වගේ පිටිපස්සට නැමිලා අත් දෙක පොළොවේ තියලා අපේ ගෙදරට ඇවිදගෙන ගියා. ඔහු ගිහින් අයියගේ ඇඳ යට රිංගුවා. අවසානයේ ගුරුන්නාන්සේ ඔහුව සිහියට ගත්තත් කිව්වේ, "පැය කිහිපයකින් මෙයාව ගම් සීමාවෙන් එළියට අරන් පලයන්" කියලා.
එක්වරම අපේ අයියා, සුරේන්, ගෙදරට ආවා. ඔහු පිටරට ඉඳන් හදිසියේම ඇවිත්. සලනි ඊයේ රෑ කිව්වා වගේම ඔහු ආවා!
අයියා කාමරයට එද්දීම ඇඳ නොනවත්වා හෙල්ලෙන්න ගත්තා. ඊළඟ තත්පරයේ අපිට ඇහුණේ ගැහැනියකගේ විලාපයක්. අපි මිදුලට යද්දී අවුරුදු 14ක විතර පෙනුමක් තියෙන ගෑනු ළමයෙක් අයියා ඉස්සරහට දිව ආවා.
"ඔයාට මාව අඳුරගන්න බැරිද සුදු අයියේ?" ඇය ඇසුවාය.
අයියා තුෂ්ණිම්භූත වුණා. "රේණු! මේ ඔයාද?"
"උන් මාව විනාශ කළා! ඇයි ඔයා මාව බලන්න ආවේ නැත්තේ? ඒ තිරිසන්නු තුන්දෙනා මාව මරාගත්තා!"
මාමා ඇහුවා, "දෙන්නෙක් නෙමෙයිද මේ අපරාධය කළේ?" කියලා. රේණු මාමා දෙස රවා බැලුවා. "උඹලා දන්න ලබ්බක් නෑ! උඹ තමයි මගේ සුදු අයියවත් නැති කළේ!"
ඇය අයියා දෙසට හැරුණා. "මට මේ අපරාධය කරපු තුන්වැනි එකා තාමත් නිදහසේ ඉන්නවා. මට ඕන වුණේ ඔයාව ගෙන්නගෙන ඌව පෙන්නන්න. දැන් ඔයා ආපු නිසා මම ඌව මරනවා!"
අයියා ඇයගෙන් සමාව ඉල්ලද්දී රේණු සිහි නැති වී ඇද වැටුණා. ඒත් එක්කම මහා සුළඟක් ඇවිත් කොස් ගසේ අත්තක් කඩාගෙන වැටුණා. ඒ වෙලාවෙම කවිඳුට සිහිය ආවා.
"ආආආආ............ සජ්ජා........... උඹ කොහෙද?" කවිඳු කෑගැසුවා.