රේණු 1
රේණු
"තව ගොඩක් දුරද බං? දැන් නම් මගේ පස්සත් රිදෙනවා ඉඳගෙනම ඉඳලා!"
"ඒ හැටි දුරක් නෑ තව... පොඩ්ඩක් ඉවසන් ඉඳහන්කෝ. උඹට වඩා මේ බයික් එක එලවන මගේ ඇඟත් රිදෙනවා දවසම මෙච්චර දුරක් වාහනේ එළවලා!"
"පට්ට ලස්සන පැත්තක් කියලා හද්ද ඩොටේනේ උඹ මාව ගෙනාවේ ඕයි... තනිකර කැලෑවක්නේ මේ!"
"ටවුන්වලම ඉඳලා ඉඳලා එපා වෙන්නේ නැද්ද බං උඹට? අනික මාත් මේ යන්නේ අවුරුදු පහ හයකට විතර පස්සේ... නැන්දා හදිසියේ ලෙඩ වෙච්ච නිසයි වැඩ ඔක්කොම දමලා ගහලා මේ ගමන ආවේ."
"උඹලෑ නැන්දට ගොඩක් අමාරුයිද බං? වලකජ්ජ ගහයි වගේද? එහෙම වුණොත් ආයේ මේ කැලේට එන්න වෙනවනේ අපිට!"
"මොනාද බල්ලෝ කියවන්නේ? කට තිබ්බ පලියට අවකැපෙන කතා කියන්න එපා!"
"හරි හරි මම විහිළුවක් බං කළේ... උඹ දන්නවනේ ඉතින් මගේ කට හොඳ නැති වුණාට හිත හොඳයි කියලා!"
මොන දීපංකරේකට යමං කිව්වත් "හා මචං" කියලා එන, මට ඉන්න එකම හොඳම යාළුවා කවිඳු. මගේ පරණ බයිසිකල් කට්ටේ ඌවත් දාගෙන කොළඹ ඉඳන් මාමලාගේ ගමට ආවේ පුංචි කාලේ ඉඳන් මට ගොඩක් ලෙන්ගතු නැන්දට හදිසියේ අසනීප වෙලා අමාරුයි කියලා මාමා අම්මට කිව්ව පණිවිඩය මට දැනගන්න ලැබුණ නිසයි. මගේ මතකයේ හැටියට මම මේ පැත්තට ආවේ සාමාන්‍ය පෙළ ඉවර වෙලා සතියක් විතර නැවතිලා ඉන්න ආපු ගමනෙන් අවුරුදු පහ හයකට පස්සෙයි.
ලොකු අයියා එක්ක මේ ගම පුරාම මම නොගිය තැනක් නැතුව ඇති. අයියත් රට ගියාට පස්සේ මමත් මගේ වැඩවලට හිර වෙච්ච නිසා මේ පැත්ත මට අමතක වෙලාම ගිහින් තිබුණේ. ඒත් අපි වෙනස් වුණාට ගම නම් වෙනස් වෙලා නෑ, තාමත් එදා වගේමයි.
"තව දුරද...?"
"අනේ උඹ ශ්‍රේක් එකේ බූරුවා වගේ කෑ නොගහා හිටපන්කෝ... දැන් ළඟටම ඇවිත් ඉන්නේ. තව ටික දුරයි. ඔය පේන වංගුව හැරුණම තියෙන උඩ පාරෙන් ඇතුළට යන්න ඕන."
එහෙම කියාගෙන ඉස්සරහට යද්දී දැකලා හුරු මුහුණක් ඇස ගැටුණේ පාර අයිනේ හිටගෙන ඉන්න ගෑනු ළමයෙක් දැක්කහමයි. "ඒ අරයා නේද? අපේ අයියා යාළුවෙලා හිටපු කෙල්ල! මේ අඳුර වැටෙන්න ලං වෙලා තියෙද්දී මොනා කරනවද පාරේ හිටගෙන...?" මට සිතුණි.
"කෝ කවුද? කවුද හිටියේ? මම දැක්කේ නෑනේ!" කවිඳු ඇසීය.
"අර පහු වුණේ බං!"
"මම දැක්කේ නෑනේ බං!"
වාහනය වංගුවෙන් හරවපු නිසා දැන් කොහොමත් පේන්නේ නෑ. ඒ කෙල්ලගේ ගෙදර තියෙන්නේ මේ අපි යන පාරේ ඉස්සරහම තමයි. "ආන්න... අර තියෙන්නේ ඒ කෙල්ලගේ ගෙදර!" එහෙම කියලා මම ඔලුවෙන් යාළුවට එක්තරා වත්තක් පෙන්නුවත්, මාවත් පුදුම කරමින් අපි දෙන්නම දැක්කේ මිනිස් වාසයක් නැති පාලුවට ගිය ගෙයක්. කැලෑව මිදුලටම ඇවිත්. ඒකෙන් කියන්න පුළුවන් අවුරුදු ගාණකින් මේ ගෙදර කිසිම මනුස්සයෙක් ඉඳලා නැහැ කියලා.
"මේ ගෙදර නම් මනුස්සයෙක් ඉන්නවා කියලා හිතාගන්න බෑ සජ්ජෝ!"
"සමහරවිට ගෙවල් මාරු කරලා ඇති!" මම එහෙම කිව්වත් මගේ හිතට හරි අමුත්තක් දැනුණා. දිගටම බයික් එක ඉස්සරහට ගෙනිච්චේ මේ ගැන මාමාගෙන්ම අහනවා කියලා හිතාගෙනයි.
"ඒක නෙමෙයි සජ්ජා... මාමා කේස් දායිද අපි බොන්න ගත්ත බඩු දැකලා?"
"අපි නෙමෙයි උඹට විතරයි බොන්න ඕන වුණේ... මම ආවේ නැන්දව බලන්න විතරයි!"
"හරි බං මොකක් හරි! කඩෙන් ගත්ත මස් ටික ගොඩක් වෙලා බෑග් එක ඇතුළේ දාගෙන ඉන්න බෑ බං... එක්කෝ ෆ්‍රිජ් එකේ දාලා තියලා පස්සේ බයිට් හදලා ගන්න ඕන... නැත්නම් ගිහිපු ගමන්ම බයිට් එක හදන්න ඕන!"
"ගිහිපු ගමන් බොන්න ගන්න උඹට දෝදුද? ආපු වැඩේ අමතක කරන්න එපා!"
"හරි හරි ලොක්කා... ප්‍රථමව නැන්දව බලලා දෙවනුව කසාය බොමු!"
කතාව යන අතරතුරේ බයිසිකලයේ පිටුපස බර ගතියක් වගේම කුණු ගඳක් වගේ දැනෙන්න ගත්තේ මට දැනුණු අමුත්ත තවත් වැඩි කරමින්. මට ගඳ දැනුණත් කවිඳුට ගඳක් දැනුණා කියලා කියන්න බෑ, මොකද ඌ කැඩිච්ච වේල්ල වගේ උගේ කියවිල්ල නතර නොකරපු නිසා මටත් ඒ හැටි ගාණක් නොවී අඳුර වැටෙන්න ලං වෙනවත් එක්කම මාමලාගේ ගෙදරට ආවේ දවසම වාහනය එලවපු මහන්සියත් තෙහෙට්ටුවත් එක්කයි.
"මාමේ... අපි ආවා..."
මම එහෙම කියාගෙන තෙහෙට්ටු හිනාවකින් මූණ පුරවන් මාමා ළඟට ගියත් මම දැක්කේ මාමාගේ මූණ අමුතු වෙලා තියෙන හැටියි. මගේ පස්සෙන්ම කවිඳුත් ඇවිත් මාමා ඉස්සරහ හිටගත්තා.
"එන්න පුතා ඇතුළට..."
"කෝ මාමේ නැන්දා...?"
"එයාව ඉස්පිරිතාලේ නවත්තන්න වුණා පුතේ... අද උදේ තමයි නවත්තන්න වුණේ... ඔයා කොහොමත් මඟ එන එකේ ආයේ කෝල් කරලා කියන්න ඕන වුණේ නෑ... දැන් රෑ වෙලා නිසා අපි හෙට උදෙන්ම නැන්දා බලන්න ඉස්පිරිතාලේ යමු... පුතාලා ඇඟපත හෝදගෙන එන්නකෝ... අපි පස්සේ කතා කරමු!"
එහෙම කියලා මාමා අපිට ලෑස්ති කරලා තිබ්බ ලොකු අයියගේ කාමරේට අපි දෙන්නව යැව්වා.
"අද මහන්සි ඇරලා හෙට උදේ නැන්දව බලන්න යන එකත් හොඳයි නේද බං?" කවිඳු ඇසීය.
"හ්ම්ම්ම්....."
"මොකද උඹ අවුලෙන් වගේ? මොකක් හරි ප්‍රශ්නයක්ද?"
ඌ එහෙම කියද්දී ආයේ මට අර කුණු ගඳ ළඟ ළඟම දැනෙන්න ගත්තා. "උඹට කුණු ගඳක් එන්නේ නැද්ද?" මම ඇසුවෙමි.
"කුණු ගඳක්? ඉඳපන් බලන්න." යි කියමින් කවිඳු ඉව කරන්න ගත්තේ ගඳ එන්නේ කොහෙන්ද කියලා හොයාගන්නයි. "කෝ වරෙන් ළඟට, උඹ ළඟද ගඳ එන්නේ කියලා බලන්න!" යි කියලා ඌ මගේ දිහාට බල්ලෙක් වගේ ඉව කරගෙන එද්දී ඌවත් තල්ලු කරගෙන, "විහිළු නෙමෙයි යකෝ! පොඩ්ඩක් බලපං හොයලා කොහෙන්ද ගඳ එන්නේ කියලා... බයික් එකේ එන ගමනුත් මට ඔය ගඳ දැනුණා!" මම කීවෙමි.
"ඒ උඹටත් දැනුණද? මටත් දැනුණා බං ගඳක් නම් අර කෙල්ලගේ පාලු ගේ ගාව ඉඳන් එද්දී! මම ඒක එච්චර හිතුවේ නෑ සතෙක් මැරිලා ඇති කියලා හිතලා! ඒ ඕයි.... මොකක් වෙන්න පුළුවන්ද ඒ ගඳ?"
"දන්නේ නෑ බලමුකෝ අපි!" කියලා මට ආපු සැකයට කවිඳුගේ බෑග් එකේ තිබ්බ මස් දාලා තිබ්බ මල්ල එළියට ගද්දී ම ඉවසන්න බැරි තරම් කුණු ගඳක් ආවා. "ආ.... පෝ..... මොනාද උඹ කඩේට ගිහින් අරගත්තේ කුණු වෙච්ච මස්ද? මෙව්වද උඹ කන්න ගෙනාවේ!"
"ඒ.. ඒ... සජ්ජා... මම ඕවා අරගද්දී හොඳට තිබ්බනේ බං.... ඇත්තමයි අලුත් මස්වලින් ටිකක් අරගත්තේ මම."
"එහෙනම් මේක බෑග් එකේ තිබිලා කූල් බැහැපු නිසා තැම්බිලා වෙන්න ඇති! ඕක මම විසි කරන්නම්, උඹ ගිහින් නාගෙන වරෙන්!"
මස් මල්ලත් අරගෙන මම කාමරයෙන් එළියට එද්දී මාමා මගේ ඉස්සරහ හිටගත්තා. "කොහෙද මේ යන්නේ? මොනාද ඔය අතේ තියෙන්නේ?"
"මාමේ.... මේ.... එද්දී අරන් ආපු මස් වගයක්.... දැන් බලද්දී කුණු වෙලා ගඳ ගහනවා... බයික් එකේ එද්දී බෑග් එකට තැලිලා වෙන්න ඇති.... මේ ටික විසි කරන්න යන්න හැදුවේ!"
"කෝ දෙන්න ඕක මට, මම විසික් කරන්නම්." මාමා මොකක් හරි දෙයක් හිතේ තියාගෙන ඉන්නේ කියලා මට තේරුණ නිසා, "මාමේ.... අර අයියා කලින් යාළුවෙලා හිටපු කෙල්ලගේ ගෙදර දැන් කවුරුත් නැද්ද?" කියා මම ඇසුවෙමි.
ඒක කියද්දීම මාමා ඇස් දෙක ලොකු කරලා මම දිහා බලලා ආයේ ඉස්සරහ බලාගෙන මගෙන් ඇහුවේ, "පුතා ගමට ආවට පස්සේ මේ එන මඟ කවුරුහරි හම්බුණාද?" කියලාය.
"ඔව්... අයියා ඒ යාළුවෙලා හිටිය ගෑනු ළමයව දැක්කා පාරේ ඉන්නවා... හැබැයි කතා කරන්න වුණේ නෑ එයාව පහු වුණාට පස්සෙයි මට මතක් වුණේ ඒ එයා කියලා!" කියනවත් එක්කම මාමා ආයේ මම දිහා අමුතු විදිහට බැලුවේ මාව ටිකක් තිගස්සවමින්.
"මම දැන් හේනට යනවා... රෑට පැලේ ඉන්නේ ගෙදර එන්නේ නෑ... මේ ටිකේ ඕසේට අලි එළි බැහැලා... ඔයාලා දෙන්නත් මාත් එක්ක පැලේට යං... ගෙදර තනියම ඉන්න ඕන නෑ."
මාමා එහෙම කිව්වට මම හිටියේ සෑහෙන්න තෙහෙට්ටුවෙන්. වැටිච්ච තැන නින්ද යන ගාණට හිටපු නිසා, "කමක් නැහැ මාමේ අපි දෙන්නා ඉන්නම්.. කාලා නිදාගන්නම් හරි මහන්සියි."
"ම්ම්ම්... ගේ ඇතුළට වෙලා ඉන්න... එළියට බහින්න එපා... යාළුවටත් කියන්න... මම එහෙනම් යන්නම්... ආආආ.... මේ.... මතක ඇතුව රෑට රේඩියෝ එකේ පිරිත් දාගෙන නිදාගන්න... මම හෙට උදෙන්ම එනවා ඉස්පිරිතාලේ යන්න... කුස්සියේ කෑම තියෙනවා දෙන්නා එක්ක කාලා නිදාගන්න එහෙනම්."
"හරි මාමේ..."
යන්න ගිහිපු මාමා ආයේ හැරුණේ, "සජිත... මතක තියාගන්න කිසිම කෙනෙක් දොරට තට්ටු කළාට දොර අරින්න යන්න එපා... ගෙදරින් එළියට බහින්නත් එපා... මම එනකන් පරිස්සමින් ඉඳහන් පුතේ.... මේ සුරේ උඹ ළඟ තියාගනින්... හැමතිස්සෙම යාළුවයි ඔයයි එක ළඟ ඉන්න.... එළියෙන් සද්ද බද්ද ආවොත් හොයන්න යන්න එපා ඔයාලගේ වැඩක් කරගෙන ඉක්මනට නිදාගන්න."
මාමා කියපු වචන නිසා මට තිබුණු අමුත්ත තව තවත් වැඩි වුණා. "ඇයි මාමා මට එහෙම කිව්වේ? වෙනදට ඔහොම කියලා නෑනේ? ඇයිද දන්නේ නෑ මඟදී හම්බුණේ කවුද කියලා ඇහුවේ? අනික මම අහපු ඒවට උත්තර දුන්නෙත් නෑ!"
මාමා එක්ක කතා කරලා ගෙදර දොරත් ලොක් කරගෙන ආයේ කාමරේ ඇතුළට යද්දී දැක්කේ කවිඳු නාගෙන ඇවිත් දැනටමත් බියර් ටින් එකක් බොන හැටියි. "අපෝ පෙරේතයා උඹ දැන්ම බොන්න ගත්තද? මේ මට හරි මහන්සියි බං... මාත් ඉක්මනට නාගෙන එන්නම් ටිකක් වෙලා ඉඳලා නිදාගමු."
"එල එල උඹ නාගෙන වරෙන්... උඹ එනකම් මම මේ ටින් එක හිස් කරන්නම්."
"ආ මේ බිව්වට කමක් නැහැ ගෙදරින් එළියට එහෙම යන්න එපා.... මාමා කිව්වා එයා එනකන් අපිට ගේ ඇතුළට වෙලා ඉන්න කියලා... දැන් කොහොමත් අඳුර වැටිලා බාගෙට, එළියේ කැලේ වැඩි. එහෙ මෙහෙ යන්න එපා උඹ හරිද?"
"ආ හරි හරි බං උඹ පලයන්කෝ."
"සැක්! මේක ඉවරයිනේ... සජ්ජා එන්න තව වෙලත් යනවා... ඌ එනකන් මට අනික බොන්නත් බෑ... මොකද දැන් කරන්නේ?" කවිඳු තනියම සිතීය.
සිතමින් ඉද්දීම එළියෙන් ගෑනු ළමයෙක් හයියෙන් හිනා වෙන සද්දයක් ඇසුණු නිසා කවිඳු ඒ සද්දේ එන පැත්තට යන්න ගත්තේ මේ කළුවර වැටෙන්න ලං වෙලා හිනා වෙවී යන ගෑනු ළමයා කවුද කියලා බලන්නයි. සාලයට යද්දීත් දොර බාගෙට ඇරිලා තිබුණු නිසා කවිඳු උළුවස්ස ළඟ ඉඳන් එළිය බලද්දී දැක්කේ මිදුලෙන් එහා පැත්තේ තියෙන කැලෑවට යන අඩිපාර දිගේ ලස්සන ගවුමක් ඇඳගත්ත ගැණු ළමයෙක් තනියම කැලෑව දිහාට යන හැටියි.
"මේ ගොම්මනේ කැලේට යන්න මේ කෙල්ලට පිස්සුද? අනේ මන්දා මේ ගම්වල කෙල්ලෝ කිසි දේකට බය නෑනේ! අනික මෙච්චර හයියෙන් හිනා වෙන්නේ ඒ කෙල්ල කා එක්කහරි කෝල් එකකද දන්නේ නෑ... පස්සෙන් ගිහින් බලන්න ඕන!"
සිතමින් කවිඳු මිදුලේ ඉඳන් අඩි පාරට අන්දර වැට උඩින් පැන්නේ ඉස්සරහින් යන ගෑනු ළමයා කොහෙද යන්නේ කියලා දැනගන්න ඇති උවමනාවටයි. "ස්ස්.... ස්ස්..... මේ..... නංගි..... ඔය පැත්තෙන්ද ඔයාගේ ගෙදරට යන්නේ....? තනියම යන්න බය නම් මම එන්නම් ඇරලවන්න.... මේ කළුවර වැටෙන වෙලාවේ ලස්සන ගෑනු ළමයි ඔහොම තනිපංගලමේ කැලෑවල් අස්සේ යන්න හොඳ නෑ..."
කිව්වා විතරයි ඉස්සරහ යන ගමන් හිටපු තරුණිය එක තැන නතර වුණේ කවිඳුව මඳක් තිගස්සමින්. "ඇයි මෙයා නතර වුණේ? නතර වුණාට මම දිහා හැරිලා බැලුවේ නෑනේ?" යැයි කවිඳු සිතද්දීම ඔහු දුටුවේ හැරෙන්නේ නැතුවම පස්සෙන් පස්සට එන ඒ තරුණියවයි.
සිද්ධ වෙන දෙයින් තැතිගත් ඔහුද පස්සෙන් පස්සට එන්න ගත්තේ, "ක..... ක...... කවුද තමුසේ....? ඇ..... ඇ..... ඇයි.... ම.... ම..... මගේ.... ල..... ඟට... එ.... එ.... එන්නේ.....? ක.... ක..... කවුද ඕයි තමුසේ.....?"
කියද්දීම, "ඩෝන්.......!" කවිඳුගේ පිටිපස්සෙ කැලෑ පැත්තෙන් ආපු සද්දේ නිසා ඔහු ඒ දෙස බලා ක්ෂණිකව ඉස්සරහ බලද්දී ම ඔහුගේ දෑස් ඉදිරියේ මුහුණ විරූපී වූ ඇඟ පුරාම ලේ පැල්ලම් තැවරුණු ස්ත්‍රියක් ඔහුගේ ඇඟට කඩා පැන්නාත් සමගම කවිඳු මර ලතෝනි දී කෑ ගැසූ සද්දය නාලා ඉවර වෙලා සාලුව ඇඳගන්න ගමන් හිටපු සජිතට ඇසුණේ ඔහුවත් බිය ගන්වමිනි.
"කවිඳුවා.... ඕයි.... නැගිටහන්.... ඕයි.... නැගිටහන් බං." සිහි නැතිව බිම වැටිලා ඉන්න කවිඳුව අවදි කරන්න කෙතරම් උත්සාහ කළත් සිහිය නොඑන බවක් දැක්ක නිසා ඔලුවේ ඉතිරි වෙලා තිබුණු වතුර ටික උගේ මූණට ගැසුවේ වෙන කරන්නම දෙයක් මට තිබ්බේ නැති නිසයි. "කයිියා.... කයියා.... අනේ නැගිටහන්කෝ බං!"
"ආහ්.... මගේ ඔලුව! ඌහ්.... රිදෙනවා....!"
"නැගිටහන් හිමින්... පරිස්සමින්... බලාගෙන... උඹට මොකද වුණේ බං? ඇයි උඹ මම එපා කියද්දී එළියට ආවේ?"
"කෝ... කෝ... අරකි....?"
"කවුද අරකි?"
"අර යක්ෂණී! මම යක්ෂණියක් දැක්කා... ඒකි තමයි මට මෙහෙම කළේ.... ඒකිටයි මම බය වුණේ...! ඕයි.... ඕයි.... ඇත්තටම මම යකෙක් දැක්කේ.... මුහුණ තුවාල වෙලා... ඇඟ පුරාම ලේ.... මාව මරන්න තරම් කේන්තියකින් මම දිහා බලන් හිටියේ!"
කවිඳු මොනාද මේ කියවන්නේ? ඇත්තටම ඌ එහෙම දෙයක් දැකලද? මෙයා දැන් හොඳටම බය වෙලා ඉන්නේ... මම තවත් මෙයාව බය කරන්න ඕන නෑ. "හරි හරි අපි ගේ ඇතුළට ගිහින් කතා කරමු... යමන් ගෙදරට!"
"උඹ.... උඹ.... උඹටත් මාව විශ්වාස නැද්ද? මම මගේ ඇස් දෙකෙන්මයි දැක්කේ.... ඒ ගෑනි මගේ ඇඟට කඩන් පැන්නා... බං.... බං.... ඒ ගෑනි මගේ ළඟට දුවගෙන එන්න තත්පරයක් ගියේ නෑ.... ඒකි එද්දී මට සළඹ සද්දයක් ඇහුණා!"
මූ හොඳටම බය වෙලා දිගටම කියෝගෙන යනවා. "හරි හරි දැන් උඹ බීලත් එක්කනේ ඉන්නේ... අපි හිමින් කතා කරමු යමන් ඇතුළට!"
"උඹට වතුර ටිකක් ඕනද?" මම ඇසුවෙමි.
"එපා!" කවිඳුගේ මුහුණ බයෙන් මිරිකිලා තියෙන හැටි දැක්කම මට මතක් වුණේ මාමා යද්දී කියලා ගිහිපු දේ! දැන් දැන් මටත් හිතෙන්න පටන් අරන් තියෙන්නේ අමනුෂ්‍ය බලපෑමක් ගේ වටේ කැරකෙනවා කියලා. හිතුණට අරුව තවත් අවුල් කරන්න බැරි නිසා මට ඕන වුණේ ඉක්මනට කාලා ඉක්මනට නිදාගන්නයි.
"සජ්ජා... මගේ පිටයි කොන්දයි රිදෙනවා බං!"
"වැටිච්ච නිසා වෙන්න ඇති!"
"උඹට මම කිව්ව දේ විශ්වාසද බං... අනේ මම බොරුවක් නෙමෙයි කියන්නේ... මම ඇත්තටම එහෙම දෙයක් දැක්කා බං... මට සළඹ සද්දෙත් ඇහුණා... කෙල්ලෙක් හිනා වෙන සද්දෙත් ඇහුණා!"
"හරි බං මම උඹව විශ්වාස කරනවා... උඹ කියන්නේ ඇත්ත වෙන්න ඇති... මාමත් අපිට එළියට යන්න එපා කිව්වේ ඒක වෙන්න ඇති.... දැන් කමක් නැහැ අපි ඉක්මනට කාලා පිරිත් දාගෙන නිදාගමු!"
කවිඳුව ටිකක් හරි පාලනය කරන්න ඕන නිසා කාමරේ කොණක එල්ලලා තිබුණ ලොකු අයියගේ ගිටාර් එක ප්ලේ කරන්න ගත්තේ වෙච්ච දෙයින් මගේ හිතෙත් ඇති වෙච්ච බය කවිඳු ඉස්සරහ යටපත් කරගෙනයි.
ම්ම්ම්ම්ම්........හ්ම්ම්ම්.......... සඳවතදෝ......... මා දුටුවේ...... ඔබේ ගත දෝ....... මා දුටුවේ...... සිතුවම් දෝ..... මා දුටුවේ..... හැබැහින් දෝ..... ඔබ දුටුවේ....
"මොන මඟුලකට මේ සින්දුව කියනවද මන්දා තෝ! මම මේ හොඳටම බය වෙලා ඉන්නවා... මෙතන උඹ හොල්මන ගැන අහනවා වගේ සින්දුවක් කියනවා... උඹට මාව විහිළුවක්ද යකෝ!"
"එහෙම එකකට කිව්වේ නෑ බං මම.... ඒ සින්දුව ලස්සන නිසයි කිව්වේ!" ඇත්තටම මමත් ඒ සින්දුවම ඇයි කිව්වේ කියලා මටවත් හිතාගන්න බෑ.
"වෙන සින්දුවක් කියහන්... අනේ බං මගේ පිට ගොඩක් රිදෙනවා බං!"
"කෝ වරෙන් බලන්න පිට!" කවිඳු ටීෂර්ට් එක ගලවලා පිට පෙන්නුවහම මගේ ඇස් එළියට පනින්න තරම් ලොකු වුණේ පිට පුරාම තිබුණු නියපොතු පාරවල්, දම් වෙච්ච පැල්ලම් තොගය දැක්කමයි!
"අනේ බලහන්කෝ මට ගොඩක් රිදෙනවා... පිට තුවාල වෙලාද?"
"නෑ නෑ බං එච්චර අවුලක් නෑ! වැටිච්ච නිසා තැලුම් පාරක් තියෙන්නේ, ඕක තවමු අපි!" කියලා මම උගේ පිටට අත තිබ්බහමයි දැනගත්තේ කවිඳුගේ ඇඟ රස්නෙයි කියලා. "ඕයි උඹේ ඇඟ රස්නෙයි!"
"අනේ මන්දා මට හරි නිදිමතක් දැනෙනවා බං!"
"එහෙනම් අපි පිට තවලා ඉක්මනට කාලා නිදාගමු!"
මම පෙරමුණ අරන් කුස්සියට ගියේ පිට තවන්න කේතලය රත් කරන්නයි.... ඒත් එක්කම ආයෙමත් මට අර කුණු ගඳ දැනෙන්න පටන් ගත්තා.... කේතලය තියලා ආපස්ස හැරෙද්දීම කවිඳු මගේ ඉස්සරහ හිටියේ හරි අමුතු බැල්මකින් මම දිහා බලාගෙනයි. "මොකද උඹ මම දිහා ඔහොම බලන් ඉන්නේ?" මම ඇසුවෙමි.
"මට මස් ඕන!" කවිඳු කීවේය.
"මොකා?"
"ඇහුණේ නැද්ද කියනවා! මට මස් කන්න ඕන!" කවිඳු රළු කටහඬින් මට කතා කළා.
"මොන්ගල්ද උඹට? මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මස් කන්න ඉල්ලන්නේ උඹට මොන යකා වැහිලද?"
"යකා? මොන යකෙක් ගැනද කියවන්නේ? මම මේ බය වෙලා ඉද්දි උඹ තවත් යක්කු ගැන කතා කරන්නේ? කාමරේ තනියම ඉන්න බය නිසයි උඹ ළඟට ආවේ... උඹ මාව තවත් බය කරන්න හදනවා!" ඒ සැරේ නම් ඌ සාමාන්‍ය විදිහටයි කතා කළේ.
"උඹනේ බල්ලෝ දැන් මගෙන් මස් ඉල්ලුවේ කන්න ඕන කියලා!"
"මම ඉල්ලුවේ නෑ පිස්සුද? කොයි වෙලේද මම එහෙම දෙයක් කිව්වේ?"
මම නිරුත්තරව ඔහු දෙස බලන් සිටියේ සිද්ධ වෙච්ච දේ මට හිතාගන්න බැරි නිසයි.
"ඒ සජ්ජා... මට චූ බරයි" කවිඳු කීවේය.
"ඉතින් උඹ පලයන්."
"තනියම යන්න බෑ උඹත් වරෙන්... මට බයයි"
"හරි මම මෙතන දොර ළඟින් ඉන්නම් උඹ ගිහින් වැඩේ කරන් වරෙන්!" ඇත්තටම මොකක්ද මූට එක සැරේ වුණේ? ඇයි මගෙන් මස් ඉල්ලුවේ? කතා කළේ හරියට ඌ නෙමෙයි වෙන එකෙක් වගේ... වෙච්ච දේ ගැන හිත හිතා ඉද්දී කවිඳු ආයේ එළියට ආවා.
"මගේ පිට ගොඩක් බරයි වගේ බං... රිදෙනවා මට."
"ඉඳහන් දැන් වතුර රත් වෙලා ඇත්තේ අපි තවමු!"
කවිඳුගේ පිටත් තවලා ඉවර වෙලා දෙන්නම කාලා ඉවර වුණාට පස්සේ මම සාලයට ගියේ රේඩියෝ එකේ පිරිත් දාන්නයි... ඒ වෙනකොටත් කවිඳු ඇඟ රිදෙනවා කියලා නිදාගන්න ඇඳට ගිහින් තිබුණේ... මම ගිහින් ඉස්සරහ දොර ලොක් කරද්දියි මතක් වුණේ මාමා ගියාට පස්සෙත් මම දොර ලොක් කරලයි නාන්න ගියේ... එතකොට මූද ඇරගෙන එළියට ගියේ....?
දැන් වෙලාව 11ත් පහු නිසා රේඩියෝ එකේ පිරිත් පටන් ගෙනයි තිබුණේ. "කවිඳු.... ඕයි.... උඹද මම ලොක් කරපු දොර ඇරගෙන එළියට ගියේ...?"
නිදිමත විකාරෙන් ඌ උත්තර දුන්නේ, "ම්ම්ම්හ්.... මම ඇරිය දොරක් නෑ බං.... අම්ම්ම්හ්හ්.... ඒක බාගෙට ඇරිලා තිබ්බ නිසයි මම ඔලුව දාලා එළිය බැලුවේ."
වෙන්න බෑ! ඒක වෙන්නේ කොහොමද? මට හොඳටම විශ්වාසයි මම දොර වහලා තමයි කාමරේට ආවේ.
"ඒ.. ඒ... එ...ත..කො..ට... උ... උඹ කියන්න හදන්නේ දොර ඇ... රියේ... අ... අ... අර යක්ෂණී කි... කි... කියලද...?" කියද්දීම,
"පටා....... ස්ස්ස්ස්.........!"
මහා හයියෙන් අකුණක් ගැහුවේ මුළු ගෙදරම කළුවර කරගෙන කරන්ට් යවමින්. අකුණේ සද්දෙට අපි දෙන්නම බය වුණේ ඇඟ ඇතුළෙනුත් අකුණක් වැදෙන තරම් තිගස්සවමින්. "අනේ සජිතයා මට ගොඩක් බයයි බයයි!" කවිඳු කෑගැසුවේය.
"උඹ ඔතනම ඉඳපන් මම ගිහින් ටෝච් එකක් හොයන් එනකම්."
"ය... ය... යන්න එපා! අනේ ඉඳහන් මාව තනි කරන්න එපා!"
"විනාඩියක් දීපන් මම එළියක් හොයන් එන්නම්... එතකන් උඹ ෆෝන් එකෙන් ටෝච් එක ගහන් ඉඳපන්."
"මගේ ෆෝන් එක ඕෆ් වෙලා බං චාජ් නැතුව."
"මගේ ෆෝන් එකත් ඕෆ් වෙන්න ළඟයි බං... එහෙනම් කමක් නැහැ උඹ මේකේ ටෝච් එක ගහගෙන ඉඳපන් මම කුස්සිය පැත්තට ගිහින් බලලා එන්නම්."
කවිඳුට ෆෝන් එක දීලා මම කළුවරේම අතපත ගාගෙන කුස්සියට ගියේ ටෝච් එකක් හොයාගන්නයි... ඒත් මට හම්බුණේ ඉටිපන්දමකුයි ලිප ළඟින් ගිනි පෙට්ටියයි විතරයි... වෙලාවේ හැටියට මේකත් කමක් නැහැ කියලා ඉටිපන්දම පත්තු කරගෙන ආයෙම කාමරේට ගියේ කවිඳු ගොඩක් බයෙන් ඉන්න නිසයි.
"ඉටිපන්දමක් විතරයි බං හම්බුණේ... මේක තියාගමු කරන්ට් එනකන්... කෝකටත් මම ටිප් එක චෙක් කරලා එන්නම් ඒකෙන් ගිහින්ද බලන්න." කියාගෙන කාමරේට යද්දී මම දැක්කේ ෆෝන් ටෝච් එක නැතුව කළුවරේම සද්ද නැතුව ඇඳේ බිත්තියට හේත්තු වෙලා ඉඳගෙන බිම බලාගෙන ඉන්න කවිඳුවයි. "ඕයි... මොකද උඹ කතා නැත්තේ? ටෝච් එක ගහගෙන ඉන්න කියලා නේද මම කිව්වේ!"
"ෆෝන් එක ඕෆ් වුණා!" කෙටි පිළිතුරක් විතරයි ඌ දුන්නේ.
"කෝ බලහන්... ඔව්මයි ෆෝන් එක ඕෆ් වෙලා... කමක් නැහැ මේ ඉටිපන්දම මෙතනින් ගහමු."
"එපා! මට ළං කරන්න එපා! ඈත් කරන්න!" කවිඳු බියෙන් මෙන් කීවේය.
"ඒ ගමන මොකද... කළුවරේ ඉන්න බෑ කියලා උඹම නේද කිව්වේ?" කවිඳුගෙන් පිළිතුරක් නොවීය. "කමක් නැහැ මම බිම ගහන්නම් එතකොට යන්තම් එළියක් එයි!"
ඉටිපන්දම බිම හරි මැදින් තියලා මාත් ඒ ගමන්ම ඇඳ උඩ ඉන්න කවිඳුට පිටුපාලා ඇඳේ පත්තට හාන්සි වෙලා බිම ඉඳගත්තේ එක පිට එක වෙච්ච දේවලුත් ඇඟේ මහන්සියත් දෙකම එක වගේ හිතට වෙහෙසක් ගෙන දෙන නිසයි.
"හහ්හ්හ්හ්හ්....... හරි මහන්සියි බං.... අපි නිදාගමුද?" කවිඳුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවීය. මම ඇස් දෙක පියාගෙනම, "කයියෝ... උඹ හොඳින් නේද... උඹ තරහ වෙලාද මම කළුවරේ උඹව දාලා ගිහිපු එකට?" ඒත් කිසිම ප්‍රතිචාරයක් නැත. "කවිඳුවා මොකද උඹට වෙලා තියෙන්නේ?" මම ටිකක් රළු විදිහට කතා කරද්දී,
"ඔයාට පුළුවන්ද අර කලින් කිව්ව සින්දුව ආයේ කියන්න?" කවිඳු හඬ අවදි කළේය.
"මොන සින්දුවද?"
"කලින් කිව්ව එක!"
"හ්ම්ම්ම්..... කියන්නම්....." මමත් ඇඟේ මහන්සියට ඇඳට හේත්තු වෙලාම සින්දුව කියන්න පටන් ගත්තේ හිත පොඩ්ඩක් හරි නිවාගන්නයි.
ම්ම්ම්ම්..... හ්ම්ම්ම්..... ම්ම්ම්.... සඳවත දෝ.... මා දුටුවේ.... ඔබේ වතදෝ.... මා දුටුවේ.... සිතුවම් දෝ..... මා දුටුවේ..... හැබැහින් දෝ.... ඔබ දුටුවේ....
ටික වෙලාවක් සින්දුව කියලා මම කවිඳුගෙන් ඇහුවේ, "ඇයි උඹ කලින් මට කියන්න එපා කියලා දැන් ඒ සින්දුව කියන්න කිව්වේ?" ප්‍රතිචාර නොමැත.
ඒ එක්කම මහා වරුසාවක් ඇද හැලෙන්න ගත්තේ එක පිට එක ගහන යෝධ අකුණු හඬ මැද්දෙයි. සැරින් සැරේ අකුණු එළිය කාමරේ පුරා දිව ගොස් නැවතත් ඉටිපන්දම් එළියේ ලා අඳුරෙන් තෙත් වෙන්නේ මහා විපතක පෙර සලකුණු මතු කරමිනි.
"මට ඉන්න බෑ.." සෑහෙන්න වෙලා සද්ද නැතුව හිටපු කවිඳු හඬ අවදි කළේය.
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?"
"මට බඩගිනියි පුංචෝ!"
"බඩගිනි? කෑවා නේද උඹ?"
"මට ගොඩක් තිබහයි... මට ගොඩක් බඩගිනියි!"
"අනේ මට හරි මහන්සියි බං... නිදාගනින්කෝ... හෙට උදේ මාමා එනකන් මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ වෙච්ච දේවල්වල අගමුල දැනගන්න!" යළිත් ප්‍රතිචාරයක් නොවීය. "හරි හරි ඉඳපන් එහෙනම් මම ගිහින් බලන්නම් කුස්සියේ කන්න මොනාහරි තියෙනවද කියලා!"
"ඔයා ඉන්න... මම යන්නම්!" කවිඳු කීවේය.
"ඇයි දැන් බය නැද්ද තනියම කුස්සියට යන්න?" පිළිතුරක් නැත. "ආ එහෙනම් උඹ ඕන මඟුලක් කරගනින්, මම නිදි මෙහෙමම!"
ඇස් පියාගෙනම මම ලොකු හුස්මක් අරන් තවත් සනීපෙට ඇඳේ පත්තට ඇල වෙන ගමන් ඉද්දී මගේ ඔලුවට දැනුණේ කවිඳු ඇඳෙන් නැගිටලා බිමට කකුල් තියලා යන හැටියි. දැන් මම විතරයි කාමරේ... තත්පර ගාණක් යන්න ඇති... ක්ෂණිකවම මගේ හිතට අකුණු පහරක් වැදුණේ මීට ටික වෙලාවකට කලින් මට කතා කරපු නම මතක් වෙලා!
"මො.... මො... මොකක් කි... කියලද ඌ මට ක... ක.... කතා කළේ...?" මුළු ඇඟම එක තත්පරයට රත් වෙලා යද්දීම, ගැස්සිලා ඇස් අරිද්දී මම දැකපු දෙයින් තව තවත් මාව බය ඇතුළට කිඳා බැස්සේ ඉටිපන්දම් එළියෙන් පෙනුණු කාමරෙන් එළියට යනකන් තිබුණු ලේ පැල්ලම් නිසයි.
මට හිතන්නටවත් වෙලාවක් නොදී කුස්සිය පැත්තෙන් කවිඳු මර ලතෝනි දෙන සද්දය එක්කම වළන් පොළොවේ ගහන සද්දය ඇහුණේ මගේ ඇඟේ හිරිගඩු සියල්ල අවුලවමින්. "කවිඳෝ............ කවිඳෝ...........!" කවිඳුව හොයාගෙන කුස්සියට දුවන්න හදපු මම හිටි තැනම නතර වුණේ, සළඹ සද්දය! ඒ ඇහෙන්නේ සළඹ සද්දය!