බට නලා - මෝහිණී
මළ හිරු බැස යන ගොම්මන් යාමේ අවට පරිසරයෙහි තිබූ පාලු හඬ මකමින් ගුරු පාර දිගේ නවීන පන්නයේ යතුරු පැදියකින් ඉදිරියට ඇදුනේ අකිල ය. ඔහු තම නිවසට ළඟා වූයේ මාලු පාර්සලයක් ද දෑතින් රැගෙන ය.
"අම්මේ... අම්මේ... මං මේ මාලු ටිකක් අරන් ආවා රෑට හදලා ගන්න. තාත්තා එන්න ටිකක් රෑ වෙයි කිව්වා," අකිල කෑගැසුවේය.
"එහෙනම් අදත් බීගෙන එයි. ඉඳහංකෝ මේ කපාගත්තු දර ටික අඩුක් කරලා මං උයලා ගන්නම්. රෑට වහී වගේ බං, උඹ නාගෙන කරගෙන වරෙන්කෝ..." අකිලගේ මව නන්දාවතී පිළිතුරු දුන්නාය.
අකිල යනු පවුලේ බාලයාය. තම අධ්‍යාපනයෙන් පසුව පොඩි පොඩි බිස්නස් වැඩ කරගෙන අම්මා තාත්තා සමඟ නිවසට වී කාලය ගත කිරීම ඔහුගේ ආශාව විය. අකිල දැන් අවුරුදු 23 ක පමණ කඩවසම් තරුණයෙකි. ගමේ තරුණයන් අතරේ සෑම වැඩකටම ප්‍රමුඛත්වය ගත්තේ ඔහුය. මුළු ගමේම හොඳ නමක් දිනා සිටි අකිලට සැවොම ආදරය කළහ. අකිලගේ සහජ දක්ෂතා අතරින් බටනළා වාදනය ඔහුට අපූරුවට පිහිටා තිබුණි. ඔහු තරම් ලස්සනට බටනළා වාදනය කරන්නෙකු සොයා ගැනීමට නොමැති තරම්ය. නිදහසක් ලැබෙන ඕනෑම වේලාවක බටනළා වාදනය කිරීමට ඔහු පුරුදුව සිටියේය.
"පොඩි එකෝ... පොඩි එකෝ... ටිකක් මෙහාට වරෙන්. මේ බලපං මේක හොඳද කියලා," එසේ පැවසූ කුමාර, අකිලගේ පියාය. ඔහු අකිලට පෙන්වූයේ අලුත්ම ලස්සන බටනළාවකි.
"බලහන් මං මේක උඹටමයි කියලා ගත්තේ. මට අද වැල්ලේදී සුද්දෙක් හම්බවුණා. ඌ ගාව තිබ්බ නලාව දැක්කම ආස හිතුණා. උඹ ඉතින් කොහොමත් දක්ෂයානේ, ඒක නිසා මම මේක ගත්තා. ඉඳා උඹ තියාගනින්," කුමාර බටනළාව අකිලට ලබා දුන්නේය.
එදින ඉරිදා දිනයකි. අකිල උදෑසන 9 වන තුරු නින්දට වැටී සිටියේය. එක්වරම ඔහුගේ දුරකථනය නාද විය. ඒ ඔහුගේ මිතුරා කුසල් ය. "හලෝ... මචං අකිල, පැතුම් රට ඉඳන් ඇවිත් බං. අද හවස පාටියක් දෙනවා කිව්වා. උඹත් වරෙන් දෙකට විතර අපේ ගෙවල් පැත්තෙ. පොඩි ෆන් එකක් ගමු."
පැතුම් මීට අවුරුදු තුනකට පෙර රට ගිය අතර, ඔහුගේ පැමිණීම යහළුවන්ට ලොකු සතුටක් විය. එදින දවල් අකිල කුසල්ගේ නිවස වෙත ගියේය. හුඟ කලකින් හමු වූ පැතුම් සමඟ මත්පැන් බොමින්, සින්දු කියමින් සාදය සවස් වන තුරුම පැවතිණි. සවස 5.30 පමණ වන විට අකිල නැවතත් නිවස කරා පැමිණියේ මදක් මත් වී අඩ සිහියෙනි.
නිවසට පැමිණි අකිල පුටුවකට වී ඇල වී සිටියදී ඔහුට පියා දුන් බටනළාව මතක් විය. වහාම එය අතට ගත් ඔහු, වත්ත පහළින් ඇති ගල්පොත්ත දෙසට යන්නට විය.
"පොඩි... කොහෙදෝ යන්නේ මේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න. අදත් යනවා බටනළා පිඹින්න. අනේ මන්ද උඹ නං කවදා හැදෙයිද? මං හැමදාම කියනවා යක්කු ගස් නගින වෙලාවේ ඔය මගුල පිඹින්න එපා කියලා. කෝ ඉතිං උඹ කනකටවත් ගන්නෑනේ," නන්දාවතී සුපුරුදු පරිදි අකිලට තරවටු කළාය.
අකිලගේ වත්ත පහළ ඇත්තේ කැලෑවකි. කැලෑවට ඔබ්බෙන් මිනී කනත්තක් විය. සුපුරුදු පරිදි ගල්පොත්තට වී බටනළාව පිඹින්නට පටන් ගත් විට, එක්වරම ඔහුට පා සළඹ හඬක් ඇසුණි. කවුරුන් හෝ තාලයකට අඩිය තබමින් ඇවිදිනවා වැනි ශබ්දයකි. වාදනය නතර කර වටපිට බැලුවද කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. සිතට අමුත්තක් දැනුණු අකිල වහාම නිවස වෙත පැමිණියේය. නමුත් කැලෑ රොදට වී බලාසිටි බියකරු ඇස් දෙක ඔහු දුටුවේ නැත.
පසු දින සවස ද අකිල නා කියාගෙන නැවතත් ගල්පොත්ත දෙසට ගියේය. පැයක් පමණ වාදනය කළද කිසිවක් ඇසුණේ නැත. ඊයේ සිදු වූයේ මායාවක් යැයි සිතූ ඔහු දිගටම වාදනය කළේය. පුදුමයකි! නැවතත් පා සළඹ හඬ ඇසෙන්නට විය. එය ඔහු ඉදිරියෙන්ම ඇසුණි. මද වේලාවකින් කැලෑ රොද අතරින් රතුම රතු පාට සාරියක් ඇඳගත්, ලස්සන දෑසක් සහ දිගු කෙස් කළඹක් ඇති කාන්තාවක් ඉදිරියට පැමිණියාය. ඇය අකිලගේ බටනළා නාදයට ලස්සනට නටන්නට වූවාය. සුරංගනාවියක් මෙන් පියකරු වූ ඇයගේ රූපයට අකිල වශී විය.
"චටාස්...!" අකිලගේ කරට කවුරුන් හෝ පහර දුන්නේය. ඒ ඔහුගේ මවයි. "පොඩි... මෙහෙ වරෙන් යන්න. දැන් පුරුද්දකට වෙලා හැමදාම බටනළා පිඹින්න ගොම්මන් වේලාවේ."
කාලය සෙමින් ගෙවී ගියේය. අකිලගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහු කාට හෝ අවනත වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඔහු කෙට්ටු වී, ලස්සන නැති වී ගියේය. තමාගේ බාලම දරුවාගේ මේ වෙනස නන්දාවතීට තේරුණද ඊට හේතුව ඇය දැන සිටියේ නැත.
දිනක් අසල නිවසක විමල් පැමිණ අකිලගේ බටනළාව ඉල්ලා ගත්තේය. අකිල නිවසට පැමිණි පසු තම බටනළාව නැති බව දැක වියරු වැටුණි. "අම්මා... කෝ මගේ බටනළාව?" ඔහුගේ දෑස් රතු වී තිබුණි. ඔහු වහාම විමල්ගේ නිවසට ගොස් එය උදුරාගෙන ආවේය. ඔහුගේ මේ අසාමාන්‍ය හැසිරීම දුටු නන්දාවතී දැඩි ලෙස බියට පත් වූවාය. ඇය වහාම පන්සලේ හාමුදුරුවන්ට මේ බව දන්වා උපකාර ඉල්ලා සිටියාය.
හවස් යාමයේ නිවසට වැඩම කළ හාමුදුරුවන් දුටු අකිල වෙව්ලන්නට විය. ඔහු නොතේරෙන භාෂාවකින් මොනවාදෝ මුමුණන්නට විය. සිදු වී ඇති දේ තේරුම් ගත් හාමුදුරුවන් ආරක්ෂක නූල් ජප කරන්නට විය.
"උපාසක අම්මා, කොලුවට ඉතාමත් බලවත් ආත්මයක බැල්ම වැටිලා. කොලුවාගේ බටනළා වාදනයට තමයි ඒක ඇවිත් තියෙන්නේ. ඒකි හදලා තියෙන්නේ කොහොම හරි කොලුවාව ඒකිගේ ලෝකෙට අරන් යන්න. කොලුවාගේ වෙලාව හොඳයි. පෝය පහු වුණා නම් උඹලට කොලුවෙක් නෑ කියලා හිතා ගන්න තිබුණේ," හාමුදුරුවෝ පැහැදිලි කළහ.
හාමුදුරුවන් ආරක්ෂාව දමා පිරිත් පැන් ඉසීමට කටයුතු කළහ. "ආයෙත් හැන්දෑ වරුවේ බටනළාව පිඹින්න දෙන්න එපා," උන්වහන්සේ තරයේ අවවාද කළහ.
අවුරුදු දෙකක් පමණ ගෙවී ගියේය. අකිල නැවත කිසි දිනක ගොම්මන් වේලාවේ බටනළා වාදනය කිරීමට ගියේ නැත. තමා මුහුණ දුන් ඒ බියකරු අත්දැකීම ඔහුගේ සිත තුළ සදාකාලික මතකයක් ලෙස රැඳී තිබේ. ඒ රතු සාරිය හැඳි කාන්තාව නැවත කිසි දිනක ඔහුට දිස් වූයේ නැත.